එන්නත් ලක්ෂ 6ක් මදි,ගැටලුවක් තියනවා – ප්‍රනාන්දුපුල්ලේ කියයි : වැක්සින් කමිටුවේ සභාපති හදිසියේම පාර්ලිමේන්තුවට

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී (04) පැවැසුවාය.
එය අප රටට කිව යුතු යැයි කී අමාත්‍යවරිය එවැන්නක් ඇතිවුණේ රජයේ වරදකින් නොවන බවත්, නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දීගැනීමට නොහැකි වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවත් ප්‍රකාශ කළාය.
පළමු මාත්‍රාව එක් එන්නතකින් ලබාදී දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට හැකියාව ඇත්දැයි පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තාවල ප්‍රගතිය අනුව එන්නත් “කොක්ටේල් ” එකක් දීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.
රාජ්‍ය ඇමතිවරිය මෙසේ පැවසුවේ කොවිඩ් අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳ විවාදයේදීය.
වැක්සින් කමිටුවේ සභාපති හදිසියේම පාර්ලිමේන්තුවට
රටට කොරෝනා එන්නත් ගෙන්වීමේ කමිටුවේ සභාපතිවරයා වූ ලලිත් වීරතුංග මහතා හදිසියේම (04) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ. මෙහිදී ලලිත් වීරතුංග මහතා හා ආණ්ඩුවේ මැතිඇමැතිවරු අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
ඉකුත් වසරේ දෙසැම්බර් 23 වැනි දින ජනාධිපතිවරයා විසින් ලලිත් වීරතුංග මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබීය.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්‍ෂ 135ක් මෙරටට
කොරෝනා වසංගතයට පිළියමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්‍ෂ 135ක් මෙරටට ගෙන්වන බවත්, එම එන්නත් මාත්‍රා ලක්‍ෂය බැගින් ඉදිරියේදී සෑම සිකුරාදා දිනකට මෙරටට ගෙන එන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ස්පුට්නික් එන්නත් ලබාගැනීම වෙනුවෙන් මේ වන විටත් රජය මුදල් ගෙවා අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම එන්නතෙහි ජීව කාලය මාස 6ක් බැවින් එය කඩිනමින් ලබාදීමට සැලසුම් සකස් කරගත යුතු බව ද ඇමතිවරයා කියයි. ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.