“බැඳුම්කරය කියන්නේ මොකක්ද කියාවත් නීතිපති දන්නේ නැහැ” – රවී කරුණානායක

"බැඳුම්කරය කියන්නේ මොකක්ද කියාවත් නීතිපති දන්නේ නැහැ" - රවී කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනාට ඇප

"බැඳුම්කරය කියන්නේ මොකක්ද කියාවත් නීතිපති දන්නේ නැහැ" - රවී කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනාට ඇප

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාගයේදී විත්තියේ නීතිඥවරයා “බැඳුම්කර නිකුතුවක් කියන්නේ මොකක්ද කියාවත් නීතිපතිවරයාට අවබෝධයක් නැහැ.” යනුවෙන් විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.

විත්තියේ නීතිඥවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ රවි කරුණානායක හිටපු මුදල් ඇමති ඇතුළු පිරිසක් චූදිතයන් කරමින් භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවරා තිබෙන නඩු විභාගය (31) පැවැති අවස්ථාවේදීය.

මෙම කොල්ලය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයන් වී සිටින හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සහ තවත් කිහිපදෙනෙකු අධිකරණයට ඉදිරිපත් නොකර තිබෙන පසුබිමක මෙම නඩුව විභාග වෙමින් පවතී.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර තිබෙන්නේ “බැඳුම්කර ක්‍රමවේදයන් පිළිබඳ කිසිවක් නොදන්නා පිරිසක් මෙය විශාල වංචාවක් ලෙස හුවා දක්වමින් රටේ විශාල කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරනවා. රජයට ණය අවශ්‍ය වූ විට ණය මුදල් ලබාදී සුරැකුම්පත් ලබාගැනීම වරදක් ද?” යනුවෙනි.

මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වී තිබෙන සීනි බදු වංචාව සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව එවැනි වංචාවක් සිදුකර නැති බවට කරුණු දක්වමින් සිටී.

රවී කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනාට ඇප

මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොවත්ත (සභාපති), මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව (01) විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරු තිදෙනා වෙන් වෙන්ව තීන්දු තුනක් ප්‍රකාශයට පත් කර තිබේ.

මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රාහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවනට ඇප දිමට මෙම අධිකරණයට බලයක් නැති බවත් ඒ මත විත්තිකරුවන් සියලු දෙනා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර බාරයේ රඳවා තැබීමටත් නිර්දේශ කර ඇත.

දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවනට ඇපලබා දීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි තීරණය කර තිබේ.

එමෙන්ම පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් ඉදිරිපත් කොට ඇති කරුණු සුවිශේෂි කරුණු බව තීරණය කළ විනිසුරුවරුන් බහුතර තීන්දුවට අනුව විත්තිකරුවන්ට ඇප දීමට තීරණය කර ඇත.

එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්ෂ 50 බැඟින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ඇප මත මුදා හැරීමට නියම කර තිබේ.

විත්තිකරුවනට විදේශ ගත වීම තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දීමට නියම කර ඇත.

(01) රවී කරුණායනක ඇතුළු පිරිසට අදාළව ගොනු කර තිබූ බැඳුම්කර වංචාවේ දෙවෙනි වෙන්දේසියට අදාළ නඩුවෙන්ද ඇප මත නිදහස් කරන ලදී.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය මගහැර විදේශගතව සැඟවී සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *