Type to search

සිංහරාජයේ වැව් සෑදීම ගැන අමාත්‍ය චමල් රාජපක්ෂගේ කතාව හා පසුව වූ දේ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

චමල් රාජපක්ෂ පෙර කී දේ සහ (23) පාර්ලිමේන්තුවේදී කී දේ

සිංහරාජ වනාතරය තුළ අක්කර 5 බැගින් වූ වැව් දෙකක් ඉදිකිරීම සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීමක් අමාත්‍යවරයා (23) පාර්ලිමේන්තුවේදී සිදු කළේය.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ගිං ගඟේ පහළ දැනට ජනතාව පදිංචි වී සිටින කොටසේ අක්කර 5ක පමණ ජාලාශයක් ඉදි කිරීමට සැලැස්මක් ඇති බවය.

නමුත් එය සැලැස්මක් බවත් ඒ පිළිබඳව අධ්‍යයනයක් කර විශාල හානියක් සිදුවනවා ද යන්න සොයා බලා ඊට යුනෙස්කෝ සංවිධානයේ අවසරය දෙන ලෙස ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.

එම සංවාදය පහතින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ:

“චමල් රාජපක්ෂ ඇමතිතුමා දන්නවා මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පිළිබඳ කාරණයක්. මම සභාවේ එකඟතාව මත ඔබතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විදියට ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඇත්ත අපිට මාතර දිස්ත්‍රිකයට ප්‍රශ්නය අතිරික්ත ජලය. අතිරික්ත ජලය විද්‍යානුකූල පදනමකින් හම්බන්තොටට ගෙන යාම ප්‍රශ්නයක් නෑ.

පහු ගිය දවස්වල මධ්‍යයේ පළවෙනවා සිංහරාජය ආශ්‍රිතව අක්කර පහක වැව් දෙකක් හදලා ඒ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා. සිංහරාජය තුළ වැව් දෙකක් හදනවා ද නැත්නම් එයින් එළියේ හදනවා ද මං ඔබතුමාගෙන් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විදියට මේ මාධ්‍යයේ සහ සමාජ මාධ්‍යයේ යන කාරණය ඉතා බරපතළ නරක තතත්වයක් මේකට ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ සභාව තුළ.”

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ:

“නිල්වලා ගඟේ ගංවතුර ගැලීමත්, ගිං ගඟේ ගංවතුර ගැලීමත් නිසා විශාල හානියක් සිදුවෙනවා. ඒ වගේ ම දැනට අවුරුදු 90කට ඉස්සෙල්ලා විතර ඉඳන් කළු ගඟේ වතුරත් ගිං ගඟේ වතුරත් නිල්වලා ගඟේ වතුරත් ඊසාන දෙසට ගෙන යන සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තියෙනවා. නමුත් කිසි ම ආණ්ඩුවක් මේවා කරලා නැහැ.

ඒ නිසා අද ජල පිපාසයෙන් පීඩාවට පත් වෙච්ච විශාල ජන කොටසක් ඉන්නවා. ඉතින් මේක කවදා හරි කෙරෙන්න ඕනේ. ගිං ගඟ ව්‍යාපෘතිය මං හිතන්නේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා ඉඳලා තමයි සැලසුම් කරලා තියෙන්නේ. සිංහරාජ, මම දන්නවා සිංහරාජෙට ඒක ඉතාමත් ප්‍රශ්නයක්. නමුත් අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච යෝජනාවක්.

ඒ යෝජනාවල තියෙනවා ගිං ගඟේ පහළ කොටසේ දැනට ජනතාව පදිංචි වෙලා ඉන්න කොටසක්. මං හිතන්නේ පවුල් 100කට අඩු ගාණක් පදිංචි වෙලා ඉන්න කොට්ඨාසයේ ඒ පදිංචි වෙච්ච ස්ථානයේ අක්කර පහක විතර සැලැස්මක් තියෙනවා පොඩි ජලාශයක්, නමුත් ඒක සැලැස්මක් ඒක යුනෙස්කෝ එකේ අවසරයත් ඉල්ලලා එයාලට අධ්‍යයනය කරලා මේකෙන් විශාල හානියක් සිදුවෙනවා ද කියලා බලන්න කියලා තියෙනවා.

එහෙම නැති වුණොත් ගංවතුර වළක්වා ගැනීමත් අර ජල පිපාසයෙන් ඉන්න ජනතාවට ජලය ලබා දෙන්න බැරි වෙනවා. ඒ නිසා මේ හැම දෙයක් ගැන ම බලලා තමයි ක්‍රියාත්මක කරන්නේ. නිකම් එහෙම ම ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.

මේක දැන් මාධ්‍යයේ එහෙම ප්‍රකාශ වුණේ හරියට සිංහරාජ කැලේ මුදුනේ වැව් හදනවා කියලා වගේ. ඉතින් මේවා ගැන පොඩ්ඩක් මාධ්‍ය වුණත් රටේ ජනතාව අවුස්සන්නේ නැතුව කිව්වේ මොකක් ද කෙරෙන්නේ මොකක් ද? කියන එකත් සොයන්න වෙනවා.”

අමාත්‍යවරයා කියන පරිදි මාධ්‍යවල පළවූ ඔහුගේ අදහස් දැක්වීම පහත දැක්වේ.

“දැන් අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. තව පොඩි අමාරුවක් තියෙනවා, මොක ද අපි කුඩා වැව් දෙකක් උඩහ බඳින්න වෙනවා. වතුර එක්කහු කරලා ගේන්න එපැයි. ඒක බඳින්න තියෙන්නේ, සිංහරාජ වනාන්තරය ඇතුළේ. සිංහරාජ වනාන්තරය ඇතුළේ තමයි, එක වැවක් අක්කර පහක් විතර.

මේ වගේ වැව් දෙකක් බඳිනකොට කැලේ යට වෙනවා. එතකොට සිංහරාජ කලාපය අධිආරක්‍ෂිත කලාපයක්. ඇතුළු වෙන්න තියා ගහක කොළක ඇටයක් ඇහිඳගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අපි ඒ අයත් එක්ක කතා කරනවා අපිට මේ වැව හදා ගන්න ඉඩ දෙන්න. එතන අක්කර පහ වෙනුවට අපි තව අක්කර පනහක්, හැටක්, සීයක් වනාන්තරය වගා කරලා දෙන්නම් කියන පොරොන්දුව පිට.”

SB ගේ අදහස

සිංහරාජ රක්ෂිතයේ වැව් දෙකක් ඉදිකිරීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් කලබල වීමට අවශ්‍ය නොවන බවත් ඇතැම් විට චමල් රාජපක්ෂ ඇමතිවරයා මෙවැනි යෝජනාවක් සිදු කරන්නට ඇත්තේ සිංහරාජ වනාන්තරයේ වැඩි ආරක්ෂාවට වියහැකි බවත්, රක්ෂිතය මැද වැවක් තැනීම හේතුවෙන් භූගත ජලය ආරක්ෂා කරගත හැකි බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

යුනෙස්කෝ ලෝක උරුමයෙන් ඉවතට!

යුනෙස්කෝ ලෝක උරුම තත්ත්වයෙන් සිංහරාජය ඉවත් විමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් අනතුරු ඇඟවීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

“සංවර්ධනය සිදු වුවහොත් ඉදිකිරීම් සඳහා යුනෙස්කෝවේ පූර්ව අනුමැතිය අවශ්‍ය වනු ඇති බැවින් සිංහරාජ රක්ෂිතයට යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන තත්ත්වය අහිමිවීමේ අවදානමක් තියෙනවා” යැයි ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ආරක්ෂකයින්ගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසා ඇත.

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික ජාතික කොමිෂන් සභාවේ මහලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වාට් මහතා කියා සිටියේ සංවර්ධනය ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ලෝක උරුම කමිටුවේ අවසරය කොමිසම හරහා ලබා ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා (23) දිනයේදී ලෝක උරුම කමිටුව හමුවීමට නියමිතව තිබිණ.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පාරිසරික බලපෑම් තක්සේරුවක් (EIA) අවශ්‍ය බව සනාථ කළ අතර එම යෝජනාව අධිකාරියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇගයීම සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් බව තහවුරු කළේය.

ලංකාගම මාර්ගය, සිංහරාජයේ වැව් දෙක, ආණ්ඩුවේ සැලසුම් ගැන සජීව චාමිකර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිඳු ජලය ලබාදීම සඳහා සිංහරාජ රක්‍ෂිතය තුළ වැව් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ පසුගියදා ප්‍රකාශ කළ අතර මේ වනවිට ඊට පරිසරවේදීන්ගේ මෙන්ම පරිසර නිලධාරීන්ගේද විරෝධයක් මතුව තිබේ.

ආණ්ඩුවේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසරවේදී සජීව චාමිකර…

“චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැහැදිලිව සඳහන් කරනවා සිංහරාජය තුළ ජලාශ දෙකක් ඉදිකරලා, ඒ ඉදිකරන ජලාශ දෙක හරහා ලබාගන්න ජලය උමං පද්ධතියක් හරහා හම්බන්තොට ප්‍රදේශයට ගෙනියනවයි කියලා. අද වනවිට අපි දන්නවා උමා ඔයේ හැරවුම් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඵල රහිත ව්‍යාපෘතියක් තත්වයට පත්වෙලා තියෙනවා. අපි ඉතාම පැහැදිලිව සඳහන් කරනවා මේ ව්‍යාපෘති වාර්තාව, පහුගිය අවස්ථා කිහිපයේදිම සකස් වෙච්ච ව්‍යාපෘති වාර්තාවල ඉතාම පැහැදිලිව සඳහන් කරල තියෙනවා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ හම්බන්තොට මහාපරිමාණ සංවර්ධන ක්‍රියාවලීන් එක්ක සිදුවන ඒ සංවර්ධන යාන්ත්‍රණය සඳහා අවශ්‍ය කරන ජලය පහසුකම් ලබාගැනීමට කියලා.

ලංකාගම මාර්ගය ඉදිකරණකොට පැහැදිලිව සඳහන් කළා මේ ලංකාගම ජනතාවට මාර්ග පහසුකම් ලබාදීම සඳහා තමයි මේ මාර්ගය ඉදිකරන්නේ කියලා. නමුත් අද වනවිට මේක ඉතාමත් පැහැදිලිවෙලා තියෙනවා ලංකාගම ජනතාවට මාර්ග පහසුකම් ලබාදෙන මුවාවෙන් මේ ඉදිකරන්නේ මාදු වැටිය ඇතුළුව මේ ජලාශ ඉදිකරලා ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා අවශ්‍යකරන යටිතලයන් ගොඩනැගීමට කියලා.

විවිධ සමාගම්වලට, චීන සමාගම්වලට වුවමනාව පරිදි මේව ක්‍රියාත්මක කරන්න එපා. සිංහරාජය වගේ නොයිඳුල් වනාන්තර පද්ධතියක පිහිටලා තියෙන වනාන්තර, ඒ ස්වභාවයේ වනාන්තර නැවත තව තැනක ඇති කිරීමේ හැකියාවක් නැහැ. සිංහරාජය කියලා කියන්නේ ලෝක උරුම ප්‍රදේශයක්. ලෝක උරුම ආරක්ෂා කරන්න බැරිවෙනවා කියලා කියන්නේ අපේ රටට ලොකු කළු පැල්ලමක් එක්වීමට නියමිතයි.”

සාමය ගොඩනැගීම, දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාර සංවර්ධනය සහ අන්තර් සංස්කෘතික සංවාදයට දායක වීම යුනෙස්කෝවේ අරමුණයි. ශ්‍රී ලංකාවට දැනට ලෝක උරුම ස්ථාන අටක් ඇත. ඒවා නම් පුරාණ නගරය වන පොලොන්නරුව, සිගිරියේ පුරාණ නගරය, ගාල්ලේ පැරණි නගරය සහ එහි බලකොටු, රංගිරි දඹූලු ලෙන් විහාරය, අනුරාධපුර පූජනීය නගරය, මහනුවර පූජනීය නගරය, මධ්‍යම කඳුකරය සහ සිංහරාජ වන රක්ෂිතය වේ.

අක්කර 18,900 ක වපසරියකින් යුත් සබරගමුව සහ දකුණු පළාත්වල පිහිටි සිංහරාජ වැසි වනාන්තරය රටේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂවලින් 50%කට වඩා අන්තර්ගතය. එය 1988 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *