සාධාරණත්වය ඉල්ලීම සහ බොරුවළක වැටී කෑගැසීම යනු පරස්පර සිදුවීම් දෙකකි – සහන් කසීර වික්‍රමසිංහ

සාධාරණත්වය ඉල්ලීම සහ බොරුවළක වැටී කෑගැසීම යනු පරස්පර සිදුවීම් දෙකකි - සහන් කසීර වික්‍රමසිංහ

සාධාරණත්වය ඉල්ලීම සහ බොරුවළක වැටී කෑගැසීම යනු පරස්පර සිදුවීම් දෙකකි - සහන් කසීර වික්‍රමසිංහ

සිය දිවි නසා ගැනීමට දින කිහිපයකට පෙර අමානුෂික ලෙස තරුණියක ගෙල සිඳ ඝාතනය කළ පුද්ගලයා තම බිරිඳට ලියන ලද ලිපිය මාධ්‍ය මගින් මුදාහැරීම පිළිබඳව විවේච්න එල්ල වෙමින් පවතී. ඒ ලිපිය අවසානයේ ‘ළමයින්ට පෙන්නන්න එපා මේක’ යනුවෙන් ඔහු ලියා තිබිය දී මාධ්‍ය මගින් එය රටටම ප්‍රචාරය කිරීම වරදක්යැයි පවසන බොහෝ දෙනා මාධ්‍ය ආචාර ධර්ම, පුද්ගලිකත්වය වැනි කරුණු පිළිබඳ සිත්ගන්නාසුලු වාක්‍ය රචනා ලියමින් පවතී.

අමතක කිරීම අයුක්තිදායක ය. මාර්තු 01 වැනි දා වේල්ල වීදියෙන් හමු වූ කාන්තා මළ සිරුරට මාර්තු 04 වැනි දා, එනම් අද දින දක්වාම හිසක් අහිමි ය. ඝාතකයාගේ භාර්යාවට අඩුම තරමින් සියදිවි නසාගන්නට පළමුව තම ස්වාමියා ලියා තැබූ ලිපියක් හෝ ඉතිරි ය. සිරිපා වඳින්නට ගියා යැයි සිතා සිටි දියණියගේ හිස සුන් මළකඳ කොළඹ වේල්ල වීදියෙන් හමු වූ පුවත දරා සිටින මවකට අවසන් වතාවට හෝ තම දියණියගේ මුහුණ බලාගැනීමේ අවස්ථාව ද අහිමි ය.

සමන්දෙවි අඩවියේ නිවෙසට වී දියණිය ආපසු එන තෙක් බලා සිටින මහළු මවකගේ මාතෘදාරක ස්නේහය පිළිබඳ අබැටක හෝ තැකීමක් නොමැති මිනිසෙක් කුරිරු ලෙස තරුණියක හිස කඳෙන් වෙන් කළේ ය. අනතුරුව මනුෂ්‍ය ඝාතනය පසුපස දඬුවම ලුහුබැඳ එන විට තෙරුවන් සරණ සහ කතරගම දෙවි රැකවරණ පතමින් භාර්යාව වෙත ඒක පාර්ශ්වීය ලිපියක් ලියා සිය දිවි නසා ගත්තේ ය. එම ලිපිය තම දරුවන්‍ හට නොපෙන්වන්නැයි සඳහන් කරන්නට ද අමතක නොකළේ ය. දරුවන් මේවා දැනගන්නවාට අකැමැති නම්, මේ සිදුවීම පිළිබඳ කිසිවක් වාර්තා නොකරන ලෙස මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ද ඉල්ලා නොසිටියේ මන්දැයි විමසීමට අද ඔහු ජීවතුන් අතර නැත.

2020 වසරේ ජූනි මස කොළඹ නිදහස් චතුරස්‍රය තුළ වෙඩි තබාගෙන මිය ගිය රජීව ප්‍රභාත් ජයවීර අවසන් ලිපිය ලෙස පරිගණකයෙන් මුද්‍රණය කර අත්සන් තැබූ ලිපිය ඔබට අමතක විය නොහැකිය. ඉදිරියේ දී මතුවිය හැකි ගැටළු, සැක සහ හරස් ප්‍රශ්න සියල්ල ආවරණය කරමින් ඉතා කල්පනාකාරීව සහ වෘත්‍තිය මට්ටමෙන් ලියා තිබූ එම ලිපිය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ප්‍රචාරය විය. විරෝධතා පැන නොනැගුණු තරම් ය. රජීව ප්‍රභාත් ජයවීරගේ ලිපියේ දෙවැනි පිටුවේ මෙසේ සඳහනක් විය.

On 18 March 2020, I withdrew a sum of Rs. 1 mil from my Bonus Savings account with NTB. Just in case this transaction is queried, it was deposited into a Savings Book with HNB (Havelock Town Branch) in the name of the domestic xxxx (xx xxxxxx) and given to her as a token of appreciation for the manner in which she lookedafter me despite instructions to the contrary from Dilhara. Deposit slip is enclosed.

රජීව ජයවීර දිවිතොර කරගන්නට පළමුව තම නිවසේ මෙහෙකාරියට කෘතගුණ සලකන්නේ රුපියල් මිලියනයක් ඇගේ ගිණුමට තැන්පත් කරමිනි. තම මරණය රටේ කැළඹීමක් ඇති කරන බව දැන සිටි ඔහු අනාගත මතභේද වළකනු පිණිස විස්තරාත්මකව ලියා බැංකු තැන්පතුවේ ගනුදෙනුකරුගේ පිටපත් පවා අමුණා තබන්නට සූක්ෂම විය. නමුත් මේ මිලියනයක මුදල් ත්‍යාගය පිළිබඳ රටටම අනාවරණ වූ පසු රජීවගේ ලිපියෙහි දැනට භාවිතා කරන නමට අමතරව වරහන් තුළ බැංකු පොතේ එන නීත්‍යානුකූල නාමය ද සඳහන් වන එම මෙහෙකාර කාන්තාව පත්විය හැකි අපහසුතා, මුහුණදිය හැකි ගැටළු සහ අනතුරුදායක තත්ත්වය පිළිබඳ කිසිවෙක් මෙලෙස සංවේදී වනු දක්නට නොලැබිණ. බාගදා, මිලියනයක මුදල් ත්‍යාගය ඉදිරියේ මෙහෙකාරියකගේ පුද්ගලිකත්වය ඒ තරම් නොවැදගත්යැයි සිතුවා විය හැකිය.

මිත්‍රවරුනි !

සාධාරණත්වය ඉල්ලීම සහ බොරුවළක වැටී කෑගැසීම යනු පරස්පර සිදුවීම් දෙකකි.

තරුණියකගේ හිස ගෙලෙන් වෙන් කර කවන්ධය බෑගයක දමා හංවැල්ලේ සිට කොළඹට ගෙනවිත් අත්හැර දැමූ මිනිසෙක් සිය බිරිඳට තෙරුවන් සරණ සහ කතරගම දෙවි රැකවරණ පතමින් ලිපියක් ලියා ඇත. අනාගත විමර්ශන සහ මාධ්‍ය අවධානය පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව අතිශය තක්කඩි වචන සෙල්ලමක යෙදෙන ඒ උපක්‍රමශීලී ලිපියේ සඳහන් ප්‍රායෝගික නොවන සහ වංචනික ඉල්ලීමක් පිළිබඳ සංවේදී ව ඒ වෙනුවෙන් සටන් වදින තෙක්ම ඔබ සහ වේල්ල වීදියෙන් හමු වූ කාන්තා මළසිරුර අතර වැඩි වෙනසක් නැත.

– සහන් කසීර වික්‍රමසිංහ – fb

මානසික රෝග
මානසික රෝග

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *