චන්ද්‍රිකා – ගෝඨාබය – මෛත්‍රීපාල – මහින්ද හතර දෙනා ඝාතන කුමන්ත්‍රණ ගැන ශානි විමර්ශනය කරලා

චන්ද්‍රිකා - ගෝඨාබය - මෛත්‍රීපාල - මහින්ද හතර දෙනා ඝාතන කුමන්ත්‍රණ ගැන ශානි විමර්ශනය කරලා

චන්ද්‍රිකා - ගෝඨාබය - මෛත්‍රීපාල - මහින්ද හතර දෙනා ඝාතන කුමන්ත්‍රණ ගැන ශානි විමර්ශනය කරලා

ජනාධිපතිවරුන් හතර දෙනකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේදී කියැවිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ටවුන්හෝල්හිදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, වත්මන් ජනපති ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටියදී පිත්තල හංදියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරවකුව සිටිය දී බෝම්බ ගැසීමට කුමන්ත්‍රණය කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන විමර්ශන හතර සිදු කරනු ලැබ ඇත්තේ ශානි අබේසේකර මහතා විසිනි.
අබේසේකර මහතා ඊයේ විඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ ජාතික රෝහලේ සිට පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයකුගේ මෙහෙයවීම යටතේ ශානි අබේසේකර මහතා සාක්කි ලබා දුන්නේය.
පොලිස් සේවයට බැඳුණු දිනයේ පටන් වැඩ තහනම්වන දින දක්වා උසස්වීම් ලැබීම් ගැනත්, ස්ථානමාරු ලැබීම ගැනත් ඔහු මුලින්ම විස්තර කළේය. තමාට ලැබුණු උසස්වීම් පහෙන් තුනක්ම (පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් අධිකාරී) ලැබුණේ තමා කළ විමර්ශනවලට ඇගයීමක් ලෙස බව ඔහු ප්‍රකාශ කළේය.

ඉන් පසුව අබේසේකර මහතා සිදු කළ විමර්ශන ගැන රජයේ නීතීඥවරයා විමසා සිටි අතර ඔහු ඊට පිළිතුරු දෙමින් සිද්ධි ගණනාවක් ප්‍රකාශ කළේය. දෙල්කඳ සය පුද්ගල ඝාතනය, සරත් ෆොන්සේකා ඝාතන තැන, අඟුලාන ද්විත්ව මිනීමැරුම, රෝයල් පාර්ක් ඝාතනය, කෝටි දෙකේ කප්පම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් ඒ අතර විය. ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු යද්දී විමර්ශන 8000ක් පමණ අධීක්ෂණය කරමින් සිටි බව ද කියැවිණි.
අනතුරුව වව්නතිව් සිද්ධිය ගැන ඔහුගෙන් සාක්කි ලබා ගත්තේය.

2018 නොවැම්බර් මාසයේ දී මඩකලපුව වවුනතිව්හීදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හමුදා බුද්ධි අංශ හා රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බව ශානි අබේසේකර මහතා සාක්කි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද කීවේය.

“මාවනැල්ල බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ති⁣බෙන බවට යම්යම් තොරතුරු අනාවරණය වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට යොමු කරන ලෙස කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශාමික ප්‍රේමසිරි මහතා මා හට දැන්වුවා. මම එය ඉන්ටපෝල් භාරව සිටි රංජිත් වෙදසිංහට යැවුවා. ඔහු දින කිහිපයකින් මට පිළිතුරු දුන්නා ඉල්ලන තොරතුරු ගන්න බෑ කියලා. හේතුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිදුවෙනවානම් ඒක කොයි රටකද කොයි විදියෙන්ද කාගෙන්ද කියලා කියන්න ඕන. එතකොට තමයි විස්තර හොයන්න පුළුවන්. එහෙම නිකම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වට විස්තර ගන්න බෑ කියලා ඔහු මට දැනුම් දුන්නා. මම එය ශාමික ප්‍රේමසිරිට නැවත යැවුවා. ඊට පස්සේ ශාමික ඒ ගැන කිසිවක් එව්වේ නෑ. කුමන්ත්‍රණයක් අනාවරණය වෙලා කියලා නැවත පිළිතුරු එව්වේ නෑ. 2019 නොවැම්බර් වෙනකම් හිටිය කාලයේදී එහෙම කුමන්ත්‍රණයක් ගැන අනාවරණය වුණේ නෑ.
ඩීඅයිජී පාලිත සිරිවර්ධන කියලා තිබ්බා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන කොමිෂන් සභාවේ විමර්ශන අංශයට මෙරිල් රංජන් පත්කළ අවස්ථාවේ මා මැදිහත් වෙලා ඔහුව එම කොමිසමෙන් අයින් කළා කියලා. මට එච්චර බලයක් තියෙනව⁣නම් මම පුදුම වෙනවා. එහෙන් පත්කරපු කෙනාව මට අයින් කරන්න පුළුවන් ද?”

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මෙරිල් රං⁣ජන් සීඅයිඩියෙන් අයින් කරපු එකට හේතුවක් තියෙනවාද ?

ශානි අබේසේකර මහතා – මම අයින් කළේ නෑ. මෙරිල් රංජන් සීඅයිඩි එකෙන් අයින් කළේ ඇයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව හොදටම දන්නවානේ. එයාව අයින් කළේ කවුද කොහොමද වුණේ කියලා නීතිපති දෙපාර්තමේන්තුව මට වඩා හොදට දන්නවා.
කොමිසම – ඔක්තෝබර් 05/07/14 දිනවලත් නොවැම්බර් 23 වැනිදාත් ජනවාරි 19 දිනයේත් කොමිසමට සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දීලා තිබුණත් අසනීප තත්ත්වය නිසා ඔබට පැමිණීමට නොහැකි වුණා.

ශානි අබේසේකර මහතා – මා ඔක්තෝබර් 5/7/14 දිනවල අසනීප තත්ත්වයෙන් නෙමෙයි හිටියේ. එන්න කියලා නැවත එන්න එපා කියලා කොමිසම තමයි මට දැනුම් දී තිබුණේ. නොවැම්බර් 23 සහ ජනවාරි 19 වැනිදා විතරයි අසනීප තත්ත්වය නිසා එන්න නොහැකි වුණේ. ළඟදීම මට සැත්කමක් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ඒකයි තවම රෝහල්ගතව තියාගෙන ඉන්නේ.

මා 1986 පෙබරවාරි 10 වැනිදා පොලිස් සේවයට එක්වුණා.1986 ජූනි 01 වැනිදා විශේෂ කාර්ය බලකායේ පුහුණුවට ගිහින් එම වසරේම දෙසැම්බර් 12 වැනිදා විශේෂ කාර්ය බලකායේ සේවය ආරම්භ කළා.1991 දී පොලිස් පරීක්ෂක ලෙස උසස්වීමක් ලැබුවා. 1995දී විශේෂ කාර්ය බලකායෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබුණා.1998දී සැප්තැම්බර් 09 වැනිදා එවකට ඒඑස්පීවරයකු⁣ගේ ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තාවකාලිකව අනුයුක්ත කරනු ලැබුවා. එම ඝාතනයේ පරීක්ෂණ සාර්ථකව අවසන් කිරීම නිසා නිර්දේශ මත මා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස්වීමක් ලෙස උසස් කෙරුණා. 2007 සැප්තැම්බර් 27 වැනිදා යාප⁣නයේ සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස උසස්වීමක් ලැබුණු අතර 2013දී විශේෂ උසස්වීමක් ලෙස පොලිස් අධිකාරිවරයකු ලෙසට මා උසස් කෙරුණා. ඒ අඟුලාන ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සාර්ථකව අවසන් කිරීම මත. ශ්‍රේෂ්ඨාධිකරණය මා එම පරීක්ෂණ දක්ෂ ලෙස මෙහෙයවූ බවට ඇගයීමක් සිදුකළා. මට ලැබුණ උසස්වීම් පහෙන් තුනක්ම විශේෂ උසස්වීම්. නමුත් මා වැඩතහනමට ලක්වන විට ගාල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා ලෙස සේවය කරමින් සිටියා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – ඔබ සිදුකළ රටෙි කතාබහට ලක්වූ විමර්ශන මොනවාද?

ශානි අබේසේකර මහතා – ලක්ෂ 200 කප්පම් සිද්ධිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සම්බන්ධ සිද්ධිය, දෙල්කඳ සය පුද්ගල ඝාතනය, උඩතලවින්න 10 දෙනකු ඝාතනය කිරීම, අඟුලාන සිද්ධිය, භාරත ලක්ෂ්මන් ඝාතනය, තණමල්විල වයස 80ක කාන්තාවක දූෂණය කර මරා දැමීමේ සිද්ධිය, මොහොමඩ් සියාම් ඝාතනය, රවිරාජ් ඝාතනය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන මා සිදුකළා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුක⁣ළේ ඔබතුමාද?
ශානි අබේසේකර මහතා – ඔව්. සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ගැසීම ගැන විමර්ශනය කළෙත් මම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිත්තල හන්දියේදී බෝම්බ ගැසීමේ සිද්ධිය ගැන විමර්ශන සිදුකළෙත් මම.
2007-2009 තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය, වැලිකඩ බන්ධනාගාර ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ ද මා විසින්. ඊට අමතරව රතුපස්වල වෙඩි තැබීම ගැන විමර්ශන අධීක්ෂණය ද මා විසින් සිදුකරනු ලැබුවා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට ඔබ සහභාගි වූවාද?

ශානි අබේසේකර මහතා – මා එලෙස විමර්ශනයක් ද සිදුකළා. කතරගම මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයාගත්තා. ඒ ගැන විමර්ශනය කරලා ශසිකල රාජන් නම් අයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහුගේ පාපොච්චාරණය අනුව වවුනියාව, පොලොන්නරුව සහ හම්බන්තොට මහාධිකරණවලට ඉදිරිපත් කර නඩු දමා සිර දඬුවම්ද නියම කෙරුණා. මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සුදේෂ් ක්‍රිෂ්නන් කියලා කෙනෙක් අත්අඩංගුවට ගත්තාද ?

ශානි අබේසේකර මහතා – ඔව් එහෙම එල්ටීටීඊ සාමාජි⁣කයෙක් අත්අඩංගුවට ගත්තා. එහි මූලික විමර්ශන සීසීඩියෙන් සිදුකළා. වැඩිදුර විමර්ශන සඳහා සීඅයිඩියට බාර දුන්නා. එම විමර්ශනය සිදුකළේ මම. මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි එහි විමර්ශන කළේ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සීඅයිඩියේ අධ්‍යක්ෂවරයාගේ රාජකාරිය මොකද්ද?

ශානි අබේසේකර මහතා – සීඅයිඩිය සිදුකරන සියලුම විමර්ශන අධීක්ෂණය කිරීම, වෙනත් ආයතන සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීම, නිලධාරීන්ගේ සුබසාධනය බැලීම, සීඅයිඩියේ මූල්‍ය පරිපාලනය, ඒ වගේම සීආර්ඩී, ටීඅයිඩී, බ්‍රයිබරි එකේ නිලධාරීන් සම්බන්ධයෙන් මූල්‍ය පාලනය බාරවෙලා තිබෙන්නේ සීඅයිඩියේ අධ්‍යක්ෂවරයාට.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – 2019දී ඔබ සීඅයිඩියෙන් ස්ථාන මාරු කරන විටදී සීඅයිඩිය මගින් විමර්ශන කීයක් වගේ සිදුකරමින් සිටියාද?
ශානි අබේසේකර මහතා – 8000ක් වගේ

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – 2018.11.30 වැනිදා වවුනතිව්හීදි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය වුණාද?
ශානි අබේසේකර මහතා – ඔව්.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – ඒ සම්බන්ධයෙන් සීඅයිඩියෙන් විමර්ශන කළාද ?
ශානි අබේසේකර මහතා – ඔව්

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – පොලිස්පතිවරයාගෙන් නියෝගයක් අරගෙනද විමර්ශන සිදු⁣කළේ?
ශානි අබේසේකර මහතා – ඔව්

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – එස්එස්පී ජයසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක ද ඒ විමර්ශනය සිදු කළේ?
ශානි අබේසේකර මහතා – ඔව් ඒ අය තමයි. ඒ අයට අමතරව එවකට උප පොලිස් පරීක්ෂක උපාලි සහ සාජන් මෙන්ඩිස් යන අයද එයට සක්‍රීයව දායක වුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – පොලිස්පතිවරයාගේ නියෝග ලැබුණේ කොහොමද?

ශානි අබේසේකර මහතා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එම සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේදී පොලිස්පතිවරයා වාචිකව නියෝගය ලබාදුන්නා. පසුව ලිඛිතවත් නියෝගය ගෙන්වාගත්තා. සිද්ධිය වූ ස්ථානය අවට තිබූ සීසීටීවි නිරීක්ෂණය කරලා එම සිදුවීම 2018 නොවැම්බර් 30 වැනිදා පාන්දර 2.00ට පමණ සිදුව ඇති බවට අනුමාන කළා. 30 දවල් වෙද්දි සීඅයිඩිය විමර්ශනය බාරගත්තා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තාද?
ශානි අබේසේකර මහතා – මඩකලපුව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙක් සැකකාරයෙකුව අත්අඩංගුවට ගෙන තිබුණා. රැඳවුම් නියෝග මත වාලච්චේන පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කර තිබුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සිද්ධියට ඒ සැකකරු සම්බන්ධ ද?

ශානි අබේසේකර මහතා – සිද්ධිය වෙලා දින පහක් යද්දි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරක් දීලා තිබුණා එම සිද්ධිය වූ ස්ථානය ආසන්නම තැනක ජැකට් එකක් තියෙනවා කියලා. ඒ තොරතුරු මත පරීක්ෂණ කිරීමේදී පාසල් බෑගයක් සොයාගැනුණා. එහි ජැකට් එකයි කලිසම් වගේ ⁣දේවල් තිබුණා. එය අත්අඩංගුවට ගත් සැකකරුගේ බවට සැකකළා. ඉන්පසු එම සැකකරු සම්බන්ධයෙන් සැකයට ප්‍රබල හේතුවක් වුණා. ඒ වගේම නොවැම්බර් 26 දින වවුනතිව්වල මහවිරු සැමරුම පවත්වන්න කටයුතු කරලා තිබුණා. එය වවුනතිව් පොලිසිය විසින් නවත්වලා තිබුණා. එම මහවිරු සැමරුම සංවිධානය කරලා තිබුණේත් අත්අඩංගුවට ගත් සැකකරු නිසා සැකයක් ඇති වුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – විමර්ශනවලට බුද්ධි අංශයේ සහයෝගය ලබාගත්තාද?
ශානි අබේසේකර මහතා – ඔව්. රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි සේවය තොරතුරු දුන්නා. නිතරම වාර්තා ලබාදුන්නා.
එම අවස්ථාවේ ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින උපුල් කුමාරප්පෙරුම සිය විරෝධය පළ කළා.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා –
සාක්ෂි විමසීම ආරම්භ වුණේ 2.00ට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ගොනු ලබාදීලා තියෙන්නේ 12ට. ඒවා කියවන්න වෙලාව හරියට නෑ. සූදානම් වෙන්න වෙලාවක් නෑ. ශානි අබේසේකර මහතා එයාගේ මතකයෙන් තියෙන දේවල් අනුව. එහෙම උත්තර දීලා යමක් වැරදුණොත් එහි අගතිය සිදුවන්නේ ශානි අබේසේකර මහතාට.

ශානි අබේසේකර මහතා – රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ හමුදා බුද්ධි සේවයෙන් වාර්තා ලැබුණා. සියලුම බුද්ධි වාර්තාවල තිබුණේ මේක එල්ටීටීඊ වැඩක් කියලා. බුද්ධි වාර්තා සියල්ලේම කෝණගත වෙලා තිබුණේ එල්ටීටීඊය පැත්තට. හමුදා බුද්ධි අංශ දුන් එක් වාර්තාවක තිබුණේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසකගේ වැඩක් කියලා තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මුස්ලිම් අන්තවාදය ගැන කිසියම් තොරතුරක් තිබුණේ නැද්ද?
නැහැ. කිසිම එකෙක එහෙම දෙයක් තිබුණේ නෑ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු තමයි ඒ සම්බන්ධයෙන් හරි තොරතුරු දැනගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ.

(25) දහවල් 2.00 සිට පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරුණ අතර වැඩිදුර සාක්ෂි විමසීම (26) දහවල් 01ට යළි ආරම්භ විය.

– medialk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *