පාස්කු දින ප‍්‍රහාරය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ කටයුතු මේ 31 වැනිදා අවසන්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු දින ප‍්‍රහාරය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ කටයුතු මේ 31 වැනිදා අවසන් වන බවත් ඉන් පසු එහි වාර්තාව හෝ ඊට ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කර ගනිමින් නීතිමය පිවර ගන්නා බවද මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත, පීඩාකාරී ආයුධ පනත, පුපුරන ද්‍රව්‍ය පනත සහ දණ්ඩනීති සංග‍්‍රහය යටතේ මේ සැකකරුවන්ට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කිරීම කරනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය. පාස්කු ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ සැකකරුවන් 32කට විරුද්ධව නඩු පැවරීමේ කටයුතු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවද ඇමැතිවරයා පැවසීය.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න වටය යටතේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඒ මහතා වෙනුවෙන් පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කළේ සැකකරුවන් සහ බෝම්බකරුවන්ගේ ඥතීන්ගේ වත්කම් පිළිබඳද විමර්ශනය කෙරෙන අතර සැකකරුවන් තිස්දෙදෙනාට අමතරව රැඳවුම් නියෝග යටතේ තවත් සැකකරුවන් 246ක් සිටින බවයි. එමෙන්ම බෝම්බකරුවන් පුහුණු කිරීම, අවි ආයුධ ප‍්‍රවාහනය, මද්‍රසා පාසල්වලින් අන්තවාදය පැතිරවීම යන චෝදනා ඔවුන්ට එල්ලව ඇති බවද ඇමැතිවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති යහපාලන රජය විසින් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් රජයට සෑහීමකට පත්විය නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය. තුන්සියයකට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කර 500කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය වී අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මේ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් රජය විසින් පවත්වාගෙන යනු ලබන බවද පැවසීය.

මේ අතර දැනට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව කළ විමර්ශනවලදී තේරීම් කාරක සභා වාර්තාවෙන් සඳහන් නොවූ ප්‍රහාරයට සම්බන්ධ විශේෂ වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කරගෙන ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *