Type to search

රටක අධිකරණය මෙලෙස වන්නේ ඇයි? මෙනිසා තමයි අපි කියන්නේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලා – සුමන්තිරන්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේ අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී කළ කථාවේ පරිවර්තනය.

මගේ වෘත්තීය සගයෙකු හා මිත්‍ර ගරු අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස සිටියදී අධිකරණ අමාත්‍යාංශයේ ඡන්ද විමසීම සම්බන්ධව, අයවැය තෙවනවර කියවීමේදී මගේ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. ඔහු අද අධිකරණ අමාත්‍යවරයා ලෙස හොබවන්නේ ඉතා කීර්තිමත් තනතුරක්. අතීතයේදී මෙම තනතුර හොබවනු ලැබුවේ සෙනෙට් සභිකයෙකු විසින්, ඒ මෙය කීර්තිමත් තනතුරක් නිසා. එනමුත්, ඔහුට අද, තමා ඇෆ්ගනිස්ථානයේ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසට හැඟෙනවා ඇති. මම මෙලෙස කියන්නේ, අධිකරණ අමාත්‍යවරයා, ආණ්ඩු පාර්ශ්වය හා ප්‍රධාන විපක්ෂය සමග පැවති සංවාදයට සවන්දීමෙන් අනතුරුව මේ දෙපාර්ශ්වයම අධිකරණය හෑල්ලු‍වට ලක් කරන්නේද යන සිතුවිල්ලෙන් මග හැර නොයා හැකි නිසායි. මොකද, අනෙක් පාර්ශ්වය අධිකරණයට අනවශ්‍ය ලෙස මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින්, ඒ බවට වන අධිකරණ තීන්දු ඉදිරිපත් කරමින් ඒවා වැරදි බවටත්, එම තීන්දු එවක විධායකයේ බලපෑම මත සිදු කළ බවටත් කීමෙන් පෙනීයන්නේ දෙපාර්ශ්වයම අධිකරණය හෑල්ලු‍වට ලක්කරන බවයි. සමහර විට මෙය මෙරට පවතින යථාර්ථය වෙන්නට ඇති. මොකද එම විනිසුරුවරුන්ම අදටත් එම තනතුරුවලම සිටින නිසායි.

මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පළකළ අදහස් සමග මා එකඟ වෙනවා. ඔහුගේ කථාවේදී සඳහන් කළ කරුණක් වුණේ මුල් අවස්ථා අධිකරණවලට (නඩුවක් මුලින්ම අසා නිම කළ හැකි මහාධිකරණය, දිසා අධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණය වැනි අධිකරණ. /අවධාරණය සංස්කාරකගේය.) මූලික අයිතිවාසිකම් විභාග කිරීමේ බලය ලබාදිය යුතු බවයි. 1978 ව්‍යවස්ථාවේ, මෙම බලය ඉහළ උසාවිවලට ලබාදීමට කටයුතු කරන්නට ඇත්තේ එය මිනුම් සලකුණක් ලෙස ස්ථාපිත කිරීමට වන්නට ඇති. එදා සිට අද දක්වා වසර 42ක් ඉක්ම ගොස් තිබෙනවා, පළාත් මහාධිකරණයට හෝ මෙම බලය ලබාදීමට කටයුතු කරන්නට තිබුණා. ඔහු ප්‍රකාශ කළ අන්දමට එය මුල් අවස්ථා අධිකරණය මෙන්ම අවසාන ඇපෑල් අධිකරණයද විය යුතු වනවා. නමුත් මෙතන ගැටලුවක් තිබෙනවා. මුල් අවස්ථා අධිකරණය මෙන්ම අවසාන ඇපෑල් අධිකරණයද එකම අධිකරණය වනවිට, විනිසුරුවරුන් හේතු දැක්වීමකින් තොරව, ඔවුන්ට වගවීමකින් තොරව කටයුතු කළ හැකි බව හැඟීයනවා. සමහර අවස්ථාවල හේතු දැක්වීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත්, වර්තමානයේදී විනිසුරුවරුන් රිට් ආඥා පෙත්සම් වැනි නඩුවලදී පරිපාලකයන්ගේ වැරදි සොයාගන්නා විට හේතු දැක්වීමේ යුතුකම අතිශයින්ම වැදගත් වුණත් ඔවුන්ම එය ඉෂ්ට කරන්නේ නැහැ. පහළ උසාවි සාමාන්‍යයෙන් හේතු දැක්වීමට පරිස්සම් වනවා හෝ තීන්දු දීමේදී පරිස්සම් වනවා. ඔවුන් දන්නවා ඉහළ අධිකරණයකට එම තීන්දු ප්‍රතිශෝධනය කිරීමට බලය තිබෙන බව. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථම හා අවසාන ඇපෑල් අධිකරණය වනවිට එම බිය නැහැ. මේ අනුව මූලික අයිතිවාසිකම් විභාග කිරීමේ අධිකරණ බලය, පළාත් මහාධිකරණයට හෝ අභියාචනාධිකරණයට පළාත්බදව රැස්වීමට හැකි නම්, ලබාදීමට ගරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මම එකඟ වෙනවා.

රටේ යුක්තිය පසිඳලන ආකාරය රට පිළිබඳ අඳුරු චිත්‍රයක් මැවීමට කරුණක් වෙනවා. දශක ගණනාවක සිට යුක්තිය අපේක්ෂාවෙන් සිටින මිනිසුන් පිළිබිඹු වන නඩු පවතිනවා. එවැනි නඩුවල ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේ නම් ඉතා දිගයි. බොහෝ විට මෙයට හේතුවී ඇත්තේ අධිකරණයේ කටයුතුවලට දේශපාලන මැදිහත්වීම් පවතින නිසා. ජයන්ත ද අල්මේදා, කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ ගෙහාන් ගුණතිලක විසින් රචිත ඔයැ න්‍මාසජස්ක ඵසබා සබ ීරස ඛ්බන්ත රුිචදබාසබට එද එයැ චරදඑැජඑසදබ දf පසබදරසඑහ රසටයඑි කෘතිය සුළු ජනතාව කෙරෙහි අධිකරණයේ ආකල්පය හෙළිදරවු කරන කෘතියක්. මෙහි මුලින්ම පුරවැසි පනත සම්මත වූ ආකාරය හා කොඩක්කන් පිල්ලෙයි එදිරිව මුදන්නායක නඩුව හා කෝඩෙස්වරන් නඩුවේ සිට වර්තමානයේදී සුළු ජාතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අනෙකුත් නඩු සමග සැසඳීමේදී වෙනස් ආකාරයකට කටයුතු කර ඇති බව පෙනීයනවා. මෑත කාලයේ සිදුවීමක් ගැන අධිකරණ ඇමතිවරයා බලාපොරොත්තු සුන්වූ ආකාරය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණා. මුස්ලිම් ජනතාවගේ භූමදානය කිරීමේ අයිතිය ගැන ඔහුට කළ හැකි වූයේ ට්විටර් ගිණුමේ සටහනක් තැබීම පමණයි. එම කරුණද ලඝු කාර්යපටිපාටිය යටතේ බහුතර මතයෙන් නිෂ්ප්‍රභ කරනු ලැබුවා. එක විනිසුරුවරයෙකු පමණක් මෙය තව සලකා බැලිය යුතු බවට තීරණය කළත් හේතු දැක්වීම කර නැහැ. බරපතළ නඩු කීපයක්ම මෙලෙස ලඝු කොට සලකා තිබෙනවා. තවත් නඩුවල පරීක්ෂණ පවා පවත්වා නැහැ. 1983 වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් දඬුවම් දී නැහැ. මෑතකදී මහර සිදුවීම සිදුවුණා. මෙය යහපත් කරුණක් නොවෙයි. 2000 බිඳුණුවැව සිදුවීමේදී 27 දෙනෙකු ඝාතනය වුණා. 2012 වවුනියා බන්ධනාගාරයේදී නිමලරූබන් සහ දිල්රුක්ශාන් ඝාතනය වුණා. තවත් සිදුවීමක් කළුතරදී. මේ ආකාරයෙන් සිදුවීම්වල ලැයිස්තුවක් මට කියන්න පුළුවන්.

මම කථාකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක හිරබාරයේ /අත්අඩංගුවේ සිටියදී සිදුවූ මරණ ගැන. තමන්ට හොඳම යුක්තිය පසිඳලන ක්‍රියාවලියක් සහිත බව කියන රජයක. එහෙමනම් හිරබාරයේ/අත්අඩංගුවේදී සිදුවූ මරණවලට වරදකාරයෙක් නැතිව සිටින්නේ කොහොමද? මම කියන්නේ මේවා සිදුවුණා කියලා නොවේ, එය සිදු නොවිය යුතු දෙයක් ලෙසයි. සිදුවුණත් ඒවාට දඬුවමක් නැහැ. රටක අධිකරණ පද්ධතියකට තිබෙන බරපතළම කැළල මෙයයි. වින්ස්ටන් චර්චිල් ප්‍රකාශ කළ පරිදි ‘රටක් තම සිරකරුවන්ට සලකන ආකාරයෙන් එම රටේ ආත්මය විනිශ්චය කරනු ලැබේ.’ අපේ රටේ සිරකරුවන්ට සලකන්නේ කෙසේද? වවුනියා සිදුවීමේ නිමලරූබන් සහ දිල්රුක්ශාන් යන තරුණයන් සැකපිට අත්අඩංගුවේ පසුවූ අය. ඔවුන්ට මැරෙන තෙක් පහරදී තිබුණා. ඔවුන්ගේ අත්පාවල අස්ථි බිඳීගොස් තිබුණා. නිමලරූබන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකරනු ලැබුවා. මෙයට මූලික අවසරය දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අගවිනිසුරු ධුරය දරනු ලැබූ හා ඉන් ඉවත්වීමට සිදුවූ පුද්ගලයෙක්. දැන් ඔබලා ඔහුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස පත්කර තිබෙනවා. වෙනත් සුදුසු පුද්ගලයෙක් සිටියේම නැද්ද? ඔහු විනිසුරු මඬුල්ලේ සිටියදී කළ ප්‍රකාශයන් සංවිධාන හා කෘති කීපයකම පළවී තිබෙනවා. මා කලින් සඳහන් කළ කෘතියේත් පළකර තිබෙනවා. එවැනි ප්‍රකාශ විනිසුරුවරයෙකුගේ මුවින් පිට නොවිය යුතු ප්‍රකාශ. දැන් මා කරුණු දක්වන්නේ හිරබාරයේ හෝ අත්අඩංගුවේ සිටියදී වූ ඝාතන සම්බන්ධව නොවෙයි. නමුත් බොහෝ පිරිසක් ඝාතනය වූ සිදුවීම්. කුමාරපුරම්හිදී 24 දෙනෙකුත්, මුරුසුවිල්වලදී කීපදෙනෙකුත් ඝාතනය වූවා. එක් අයෙකුට දඬුවම් ලබාදුන්නත් මෑතකදී ඔහුට ජනාධිපති සමාව දුන්නා. මෙයින් රටට ලබාදෙන පණිවිඩය කුමක්ද? ඉතාම කලාතුරකින් හෝ මුල් අවස්ථා අධිකරණයකින් වරදකරු ලෙස ඔප්පු වී තීන්දුවක් දුන් වරදකරුවකු අභියාචනාධිකරණයක් විසින් නිදහස් කරනවා, එහෙම නැත්නම් ජනාධිපති සමාව ලබාදෙනවා.

සභානායකතුමා තලතා අතුකෝරල මන්ත්‍රීතුමියට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, ගරු සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් මන්ත්‍රීතුමා වසර 4ක් තිස්සේ රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින බවයි. ඔහු සිතන්නේ එය දීර්ඝ කාලයක් බවයි. එය දීර්ඝ කාලයක් බවට මම එකඟවෙනවා. නමුත් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ තත්වය කෙසේද? සත්‍ය දෙමළ දේශපාලන සිරකරුවන්ට වෙලා තිබෙන්නේ කුමක්ද? මම කථාකරන්නේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චුදිත ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් ගැන නොවෙයි. සත්‍ය දේශපාලන සිරකරුවන්ගේ තත්වය කුමක්ද? වසර කීයක් ඔවුන් රිමාන්ඞ් බාරයේ පසුවෙනවාද? ඔබ ඔවුන් වෙනුවෙන් හඬනගන්නේ නැත්තේ ඇයි? ඔවුන් වසර 20,25 හෝ සමහරක් වසර 30කටත් වඩා කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවෙනවා. ඔවුන් නිදහස් කරන්න බැරි ඇයි? නීතිපතිතුමා ඔවුන්ගේ ඇප ඉල්ලීම් අනුමත කරන්නේ නැත්තේ ඇයි? නීතිපතිතුමා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන්ගේ ඇප ඉල්ලීම පමණක් පිළිගන්නේ ඇයි? ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ එක නඩුවකට ඇප ලබාදීම අනුමත කරන නීතිපතිතුමා තවත් නඩුවකදී ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තියේ අතුරු විධානය යටතේ, තම අභිමතය පරිදි මහාධිකරණයක ඇප ඉල්ලීමක් පිළිගත නොහැකි බවයි. මේ දෙබඩි ප්‍රතිපත්තිය කුමක්ද? මා කථාකරන්නේ මේ සියලු‍ නඩුවල දෙබිඩි ප්‍රතිපත්ති ගැනයි. ත්‍රිකුණාමලයේ පංච පුද්ගල ඝාතනය ගැන කුමක්ද? විවිධ ජාත්‍යන්තර සංසදවල ඔබ සහතික වුණා. නමුත් එම සිසුන් පස්දෙනාට යුක්තිය ඉටුවෙලා නැහැ. මුතුර් ්ක්‍ඵ 17 දෙනාගේ ඝාතනය ගැන කුමක්ද? කොළඹදී පැහැරගැනීමට ලක්වූ තරුණයන් 11 දෙනාට සිදුවුණේ කුමක්ද? ඒ සියලු‍ දෙනාට යුක්තිය ඉටුවුණාද?

මම ජෝසෆ් පරරාජසිංහම් ගැන ප්‍රකාශ කළා. රවිරාජ් හා සිවනේසන් ගැන කුමක්ද? මෙම සභාවේ ගරු මන්ත්‍රීවරු තිදෙනෙක්, ඔවුන් මන්ත්‍රී ධුරයේ සිටියදීම ඝාතනයට ලක්කෙරුණා. රවිරාජ්ගේ නඩුව කොළඹ මහාධිකරණයේ සිංහල ජූරි සභාවක් ඉදිරියේ විභාග කෙරුණා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ජූරි සභාවක් ඉදිරියේ නඩු විභාගයක් පවත්වන්නේ නැහැ. නමුත් චුදිතයාට ජූරි සභාවක් ඉදිරියේ විභාගයක් ලබාදීමටම ඔහුට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේද චෝදනා එල්ල කරනු ලැබුවා. දීර්ඝ නඩු විභාගයකට අනතුරුව ඔවුන් නිදොස් කරනු ලැබුවා. නීතිපතිතුමා මෙයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම නඩුවේ චුදිතයන් වූයේ නාවික බුද්ධි අංශ නිලධාරීන්. නීතිපතිතුමා විසින්ම ඔවුන්ට අධිචෝදනා ඉදිරිපත් කොට තිබුණා. එනම් රාජ්‍ය බුද්ධි අංශවල මැදිහත්වීම ගරු නීතිපතිතුමා විසින්ම පිළිගෙන තිබෙනවා. මෙම නඩු පමණක් නොවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, ප්‍රගීත් එක්නැලිගොඩ සහ බොහෝ දෙමළ මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වුණා. මෙම ලැයිස්තුව 34ක්. මේ සම්බන්ධයෙන් එක සිදුවීමක මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පමණක් සිදුවුණත් අනෙක් සිදුවීම් සම්බන්ධයෙන් එකම පරීක්ෂණයක් හෝ සිදුකොට නැහැ.

රටක් මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි? රටක අධිකරණය මෙලෙස වන්නේ ඇයි? මෙනිසා තමයි අපි ප්‍රකාශ කරන්නේ අපට අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලා. අපට වැරැද්දක් කියන්න පුළු‍වන්ද? පැය කීපයකට පෙර ඔබ දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ලකර ගන්නා විට අපට වැරැද්දක් කියන්න පුළු‍වන්ද? සෑමවිටම පාහේ යුක්තියේ අවසානම කෙළවරේ සිටින අපට වැරැද්දක් පටවන්නේ කෙසේද? ඒ නිසාම තමයි මේ රටේ සිදුවී ඇති බරපතළ ගණයේ හා ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් අප ජාත්‍යන්තර මැදිහත්වීමක්, පරීක්ෂණයක්, ක්‍රියාවලියක් ඉල්ලා සිටින්නේ. ඔබ එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? අපේ රටේ අධිකරණය වැටී තිබෙන තත්වය ඔබ විසින්ම ප්‍රකාශ කළා. ඔබ සිතුවේ ඔබ අනෙක් පාර්ශ්වය විවේචනය කරනවා කියලා. නමුත් ඔබ විවේචනය කළේ අධිකරණයයි.

මෑත කාලයේදී වූ සිදුවීම් සලකා බලමු. මම මගේ වෘත්තීය සගයෙකු හා දක්ෂ නීතිඥයෙකු වන හිජාස් හිස්බුල්ලා ගැන කථා කිරීමට කැමතියි. මොහුගේ දක්ෂතා ගැන ගරු අධිකරණ අමාත්‍යවරයා පවා හොඳින් දන්නවා. තරුණ, දක්ෂ නීතිඥයෙකුට මාස 8ක් තිස්සේ යුක්තිය ඉෂ්ට වී නැහැ. ඔහු වරදක් කර ඇති බවට සාක්ෂි ඇත්නම් ඔබට ඒ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. ඔහුට එරෙහිව විවිධ බොරු චෝදනා ඉදිරිපත් කොට තිබෙනවා. ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී හා අත්අඩංගුවට ගැනීමේදී නඩු ෆයිල් දෙකක් ඉවත් කරගෙන තිබෙනවා. අධිකරණයට හෝ නීතිඥවරයා හා සේවාදායකයා අතර සංවාදයන් පිළිබඳ ප්‍රශ්න කිරීමට නොහැකියි. මේ සම්බන්ධයෙන් වන වරප්‍රසාදයන් 2ක් පවතිනවා. එකක් ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර. අනෙක නීතිඥවරයා සහ සිය සේවාදායකයා අතර. නීතිඥවරයා හා සේවාදායකයා අතර පවතින සංවාදයන් ඒ තරමටම ශුද්ධවූ දෙයක්. නමුත් ඔහුගේ සේවාදායකයන්ගේ නඩු ෆයිල් පවා අරගෙන තිබෙනවා. ඔහුට සේවාදායකයන් සිටින්නට බැරිද? පසුව වරදකරුවන් බවට පත්වූ පුද්ගලයන් සේවාදායකයන් ලෙස කටයුතු කිරීමට නොහැකිද? එයට නීතිඥවරයාට වරද පැටවිය යුතුද? එම ෆයිල්වල යම් දෙයක් සොයාගත්තා නම් එය හෙළිකරන්නට තිබුණා. ඔබට ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමට තිබුණා. අද වනතුරු ඒ කිසිවක් සිදුවී නැහැ. නොයෙක් ව්‍යාජ චෝදනා ඔහුට එල්ල කර තිබෙනවා. ඔහු යම් පාසලක් සමග සම්බන්ධ වී සිටින බව කියනවා. නමුත් ඒ පාසල අදටත් ක්‍රියාත්මක වනවා. එම පාසලට සම්බන්ධ වෙනත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. නමුත් එම පාසලට සම්බන්ධ වීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය හරි විහිළුසහගත තත්වයක්. ඔහුට කටාර් චැරිටි ආයතනයෙන් ආධාර ලැබී ඇති බව කියනවා. කටාර් චැරිටි ආයතනය අදටත් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ රජයත් එම ආයතනයෙන් ආධාර ලබනවා. එහෙමනම් කටාර් චැරිටි ආයතනයේ ඇති වැරැද්ද කුමක්ද? ඔහු එම ආයතනයට සම්බන්ධ බවට චෝදනා කළත් ඒ සම්බන්ධයෙන් කිසි සාක්ෂියක් නැහැ. මම හිජාස් හිස්බුල්ලා ගැන අද වනතුරු කථාකරලා නැහැ. ඒ හොඳ හේතුවක් සහිතව. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළා, එම පරීක්ෂණ නිදහසේ කරගෙන යාහැකි විය යුතුයි. නමුත් මාස 8ක් දැන් ඉක්ම ගොස් තිබෙනවා. ඔහුගේ දරුවා මේ ළඟදි මෙලොව එළිය දුටුවා. ඔහුට ඔහුගේ භාර්යාව මුණගැසීමට හෝ නීතිඥවරයෙකු මුණගැසීමට හෝ අවසර ලැබී නැහැ. ඇතැම් අවස්ථාවල නීතිඥවරයෙකු මුණගැසීමට අවස්ථාව ලැබුණත් එය සිදු කළේ පොලිස් නිලධාරියෙකුගේ සහභාගිත්වයෙන් සහ පොලිස් නිලධාරියා ඔවුන් පවසන සියලු‍ දේ ලියාගන්නා පරිසරයකයි. මෙය නීතිඥවරයෙකුට ප්‍රවේශය ලබාදෙන ආකාරයද? මා ඉදිරිපත් කළේ එක් සංකේතාත්මක සිදුවීමක් පමණයි. මේ වගේ දහස් ගණනක් පීඩා විඳිනවා. මා මේ සිදුවීම තෝරාගත්තේ ඔහු නීතිඥයෙකු නිසා. නීතිඥයෙකුට සලකන්නේ මේ ආකාරයට නම් අනිත් අයට සලකන්නේ කෙලෙසද? දක්ෂ නීතිඥයෙකුට මේ ආකාරයට සලකන අවස්ථාවක වෙනත් කෙනකුට නම් අධිකරණ අමාත්‍යධුරයේ රැඳී සිටින්නට බැහැ. ඒ නිසා තමයි මම කලින් ප්‍රකාශ කළේ අධිකරණ අමාත්‍යවරයාට හැඟෙනවා ඇති ඔහු ඇෆ්ඝනිස්ථානයේ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වෙන්නට ඇති කියලා. මේ රටේ යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයටයි.

ස්වාධීන කොමිෂන් සභා ගැන සලකා බලමු. එම කොමිෂන් සභාවල සාමාජිකයන් ඉවත් කිරීමට මෙම සභාවට බලය තිබෙනවා. ඔබ සිතාගෙන ඉන්නේ මෙය තාමත් 18 වන ශතවර්ෂය වගේ ඔබේ කැමැත්ත පරිදි ඔවුන් සේවයේ නියුතු විය යුතුයි කියලාද? එහෙමනම් ස්වාධීන කොමිෂන්වල අරමුණ කුමක්ද? මානව හිමිකම් කොමිෂන් සභාවට සිදු වන්නේ කුමක්ද? එහි සාමාජිකයන්ගේ ධුර කාලය තව ඉතිරිව තිබියදී ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන්නේ ඇයි? වත්මන් සාමාජිකයන් ධුරයේ රැඳී සිටියදීම අලු‍ත් සාමාජිකයන් පත්කිරීමට උත්සාහ කරන්නේ ඇයි? නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය, නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සභාපතිවරයෙක් පත් කළේ එහි සාමාජිකයන් ධුර කාලයේ සිටියදීමයි. වාසනාවකට අපට හැකිවුණා ක්වෝවොරන්ටෝ රිට් ආඥාවක් මගින් එම වරද නිවැරදි කරගන්නට. ඊළඟට ඔවුන්ව ධුරයෙන් ඉවත් කර තිබුණා. ඇයට ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් ඉවත් කිරීමට බලයක් නැහැ. පළාත් ආණ්ඩුකාරවරයාට කොමිෂන් සභාවල සාමාජිකයන් ඉවත් කිරීමට බලය ඇත්නම් ස්වාධීන පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා තබා ගැනීමේ අරමුණ කුමක්ද? ඊයේ අපට මහජන උපයෝගිතා කොමිසම ගැන අසන්නට ලැබුණා. මම මේ ගැන කථාකරන විට වාසුදේව නානායක්කාර ඇමතිතුමා අගමැතිතුමාට ලිපියක් යවමින් සඳහන් කරලා තිබුණා, මෙය වැදගත් කොමිෂන් සභාවක් බව. නමුත් සිදුවූයේ කුමක්ද? භාණ්ඩාගාර ලේකම්තුමා සඳහන් කරනවා මෙම කොමිෂන් සභාව අහෝසි කරන බව. නීතියෙන් ස්ථාපිත කොමිෂන් සභාවක් අහෝසි කරන්නේ කෙසේද? මහජන උපයෝගිතා කොමිසම පිහිටුවන ලද්දේ 2002 පාර්ලිමේන්තු පනතක් මගින්. එහි සඳහන් වනවා මෙය ස්වාධීන කොමිෂන් සභාවක් බව. එසේනම් මෙලෙස කරන්නේ කොහොමද? මෙය විධායක ආඥාදායකයක්. ජනාධිපතිතුමා අකමැති නම් පාර්ලිමේන්තු පනතකින් හෝ ස්ථාපිත කොමිෂන් සභාවක් අහෝසි කළ හැකියි. එතුමා සඳහන් කළ පරිදි ඔහුගේ වචන චක්‍රලේඛ ලෙස සැලකිය යුතුයි. එතුමාව දැන් හඳුන්වන්නේ “සර්-කියුලර්” ලෙසටයි.

හදිසියේම මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස කියා සිටිනවා. ඔවුන්ට එවැනි ඉල්ලීමක් කරන්නේ ඇයි? භාණ්ඩාගාර ලේකම්තුමා ඔවුන්ට තර්ජනය කරමින් කියා සිටිනවා ඉල්ලා අස්වන ලෙසට, එහෙම නැත්නම් ශිරානි බණ්ඩාරනායකට සිදුවූ ආකාරයෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලියක් හරහා ඉවත් කරනවා. ක්ෂේත්‍රයන්වල නිපුණ අවංක නිලධාරීන් බොහෝ දේ පරිත්‍යාග කරමින් මෙම නියාමන කොමිෂන් සභාවල සේවය කරනවා. ඔවුන්ට මඩ ගැසිය යුතු නැහැ, ඔවුන්ව මේ ආකාරයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්කළ යුතු නැහැ. ඒ නිසා ඔවුන් ඉල්ලා අස්වී යනවා. එවිට පාලනය ගැන ප්‍රශ්නයක් මතුවෙනවා. දශක ගණනාවක් තිස්සේ මෙම පාර්ලිමේන්තුව පාලනය යහපත් කිරීමට නීති පනවනවා, එම නියාමන කටයුතු කරන්නේ ස්වාධීන පුද්ගලයන් විසින්. මෙය අලු‍ත් දෙයක්වත් පුදුමයට කරුණක්වත් නොවෙයි. විධායකය සාමාන්‍යයෙන් නියාමනයට අකමැතියි. නමුත් එය තමයි සුදුසු සහ විය යුතු දෙය. එය තමයි පාර්ලිමේන්තුවේ කැමැත්ත. ඔබලා හැසිරෙන්නේ ඉතා නිර්දය ලෙස මෙය සැඟවීමට හෝ උත්සාහ නොදරා. අලු‍ත් ඇමතිවරයෙකු පත්කරලා තිබෙනවා බන්ධනාගාර කළමනාකරණයට. එය කලින් හැඳින්වූයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලෙස. රත්වත්තේ මහතා අමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමගම එයට සුදුසු නමක් ලබාදී තිබෙනවා. “බන්ධනාගාර කළමනාකරණය.” ඔහුට එය ගැළපෙනවා. ඔබගේ නම නිසා ජනතාව දැනගන්නවා ඔබ බන්ධනාගාර කළමනාකරණය කරන්නේ කෙසේද කියලා. සෑම සිරකරුවෙක්ම ඔබේ නම ඇසූ පමණින් භීතියට පත්වෙනවා. බොහොම ස්තුතියි.

– anidda

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *