ආණ්ඩුව ජන.01 පොරොන්දු 03ක් කඩයි : ආණ්ඩුව විනය ගැන ප්‍රතිඥා දෙයි !

ජන.01 පොරොන්දු 03ක් කඩයි : ආණ්ඩුව විනය ගැන ප්‍රතිඥා දෙයි !

ජන.01 පොරොන්දු 03ක් කඩයි : ආණ්ඩුව විනය ගැන ප්‍රතිඥා දෙයි !

නව වසර ආරම්භයත් සමග, එනම් (01) සිට ක්‍රියාත්මක කරන බවට යෝජනා-සම්මත කරගත් අයවැය යෝජනා තුනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සමත් වී නැත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 ක් කිරීම, එක්වරක් පමණක් භාවිත කරන පොලිතින්, ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම සහ පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම එම යෝජනා වේ. මෙම යෝජනා සියල්ල (01) සිට ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව විසින් යෝජනා-සම්මත කරගත්තද, මෙතෙක් ඒ වෙනුවෙන් නීති සකස් කර නොමැති බව අදාළ අංශ විසින් තහවුරු කරන ලදි.

වතු කම්කරු වැටුප

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 ක් කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති අතර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු පාර්ශ්ව ලබන 07දා යළිත් රැස්වීමට නියමිත බව කම්කරු අමාත්‍යංශය සඳහන් කළේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම රුපියල් 1,000 ක් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව පසුගිය වසරේ (2020) පෙබරවාරි 14 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු සම්මත වී තිබූ අතර, 2021 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට නම් දෛනිකව ඔවුන් සිදු කරන වැඩ ප්‍රමාණය වැඩි කළ යුතු බව හාම්පුතුන්ගේ සම්මේලනය දැනුම් දී ඇති අතර, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතී. ලංකා ජාතික වතු සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ සිලෝන් ටී නාමය ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන වතු සේවකයන්ගේ වැටුප් වැඩි කරගැනීමට වසර ගණනාවක සිට අරගල කිරීමට සිදුව ඇති බව ය. වතු සේවක වැටුප් වැඩි කිරීමට ජනාධිපති සහ අගමැති ලබාදුන් පොරොන්දුව බොරුවක් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එය බොරුවක් වුවහොත් ආණ්ඩුව මේ කටයුත්තේදී ද අසමත් වන බවත් ඔහු සඳහන් කළේය.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැතිවරයා පැවසුවේ මෙසේ ය.
‘හාම්පුතුන්ගේ සම්මේලනය සහ වෘත්තීය සමිති සම්මේලනය අතර මේ පිළිබඳ සාකච්ඡාව පවත්වන්න නියමිතව තිබුණා. නමුත් තලවකැලේ ඇතිවුණු කෝවිඩ් සිද්ධිය මත මේ රැස්වීමට සහභාගි වෙන්න හිටපු වෘත්තීය සමිති ගණනාවක් දැනට නිරෝධායනයට යොමුකරලා තියෙනවා. මේ නිසා සෞඛ්‍යාරක්ෂාව ගැන කල්පනා කරලා දෙපාර්ශ්වයේම එකඟතාවෙන් එම සාකච්ඡාව ලබන 07 දක්වා කල්දමා තියෙනවා.එදිනට මේක සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හාම්පුතුන්ගේ සම්මේලනය, ඔවුන්ගේ සමාගම් සහ අධ්‍යක්ෂ මණ්ඩල කැඳවලා මේ පිළිබඳව දැනුවත් කරලා, අනුමැතිය ලබාගැනීමට අවශ්‍යයි කියලා දැන්වූවා. ඒ නිසා මෙය නිරාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.’

පොලිතින් – ප්ලාස්ටික් තහනම

එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන (01) සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබුණද, මේ සම්බන්ධ නීති ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වීම තුළ එය ද අද සිට ක්‍රියාත්මක නොවේ.
පරිසර අමාත්‍යංශය මගින් මෙයට අදාළ නීති-රීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් අංශයට යොමුකර තිබුණද, එම කටයුතු මෙතෙක් අවසන් නොකිරීම නිසා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පැවසීය. පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය, අද සිට තහනම් කිරීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2021 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව එහි මූලික අදියර ලෙස සැෂේ පැකට්, කොට්න් බඩ් සහ විෂ රසායනික ද්‍රව්‍ය දමන බෝතල් නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය සැලසුම් කර තිබිණි.


පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම ද (01) සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව යෝජනා කර තිබුණද, මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව මේ සම්බන්ධයෙන් විමසීමේදී කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සම්මේලනය විසින් යම්-යම් ප්‍රශ්න මතුකර තිබෙන බව ද ඔහු පැවසීය. මේ වසරේ ජනවාරි මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට 2021 අයවැය මගින් යෝජනා කර තිබිණි. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේදී ප්‍රායෝගික ගැටළු ඇති වන බවත්, එසේ කරන්නේ නම් සාමූහික ගිවිසුම්වල ඇතුළත් කර ඇති කරුණු සංශෝධනය කළ යුතු බවත් හාම්පුතුන්ගේ සම්මේලනය විසින් මීට පෙර පැවති කම්කරු අමාත්‍යංශයේ කම්කරු උපදේශක සභාවට දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධයෙන් විමසීමේදී කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ සඳහන් කළේය.
‘විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 ක් කරන්න වෘත්තීය සමිති කැමතියි. හාම්පුතුන්ගේ සම්මේලනය පැත්තෙන් මේ ගැන යම්-යම් ප්‍රශ්න මතු කරලා තියෙනවා. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් පෞද්ගලික අංශයට අවුරුදු 60, 61 වගේ දක්වා සේවය කරන්න අවස්ථාව දීලා තියෙනවා. අපි ඒ ගැන අධ්‍යයනය කරගෙන යනවා. කම්කරු කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සම්මේලනය එකතු වෙලා තවදුරටත් සාකච්ඡා කරනවා. ඒ විදිහට අවුරුදු 60 දක්වා සේවය දිගුකරනවා නම් ඇතිවන ගැටළු හා ප්‍රශ්නත්, ඒවාට ලබාදිය යුතු විසඳුම් මොනවද කියලත් අපි සාකච්ඡා කරනවා. ඒ අනුව ගන්න ඕනෙ විසඳුම් සම්බන්ධයෙන් අපි තීරණයකට එනවා.’

විනයගරුක සමාජයක්

පොරොන්දු ඉටු කිරීම එවැනි තත්ත්වයක පැවතියද, නව වසරේදී රාජ්‍ය සේවකයන් සඳහා දස ප්‍රතිඥාවන්ගෙන් යුතු වැඩපිළිවෙලක් (01) සිට ක්‍රියාත්මත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක-විනයගරුක සහ සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජයගැනීම සඳහා මෙම දස ප්‍රතිඥාවන්ගෙන් යුත් වැඩපිළිවෙල හඳුන්වා දී ඇත. ඒ අනුව සාර්ව ආර්ථික ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණ ඇතිව, සියලු රාජ්‍ය සේවකයන් වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ යහපත උදෙසා කැපවීමෙන් වැඩ කිරීමේ ආකල්ප වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර තිබේ.

මේ වෙනුවෙන් (1) පෙරවරු 9 ට සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියත්මක බවත්, එහි ප්‍රධාන වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

– medialk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *