ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: “සී ෂෙල්ස් දූපත්වලට කේරළ ගංජා ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදාගෙන”

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: "සී ෂෙල්ස් දූපත්වලට කේරළ ගංජා ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදාගෙන"

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: "සී ෂෙල්ස් දූපත්වලට කේරළ ගංජා ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදාගෙන"

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් තිබූ බහුදින යාත්‍රාවක් අත් අඩංගුවට ගත් බව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පවසති. දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය, හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් “ඕෂන් ස්කයි” නමැති මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට ලැබුන තොරතුරක් අනුව නාවික හමුදාවේ නිලධාරින් බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 31) උදෑසන ගාල්ල වරාය ආසන්න මුහුදේ දී යාත්‍රාවේ ගමන් මග හරස් කොට එය වරාය වෙත රැගෙන ඒමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ යාත්‍රාව කෙළින්ම ගොඩ බිම දෙසට ධාවනය කොට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ආසන්නයේ රත්ගම වැල්ලේ නතර කර තිබේ. එවිට යාත්‍රාව වැල්ලේ එරී නතරව ඇති අතර ඒ සමගම එහි ස්කිපර්වරයා පලා ගොස් ඇත.

බලධාරීන් පවසන්නේ, එහි සිටි සිව් දෙනෙකු නාවික හමුදා සෙබළුන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර පලාගිය ස්කිපර්වරයා ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් යයි හඳුනාගෙන ඇති බවය.

‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක් යාත්‍රාවේ තිබී සොයාගනු ලැබූ බව ද ආරක්ෂක අංශ පැවසීය. වැඩිදුර පරීක්ෂණ පිණිස සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දී තිබේ.

‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක් යාත්‍රාවේ තිබී සොයාගනු ලැබූ බව ආරක්ෂක අංශ පවසයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ‘ධීවරයන් යොදාගෙන’
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදා ගනු ලබන බවට මීට ඉහතදී ද වරින්වර සාක්ෂි හමු වී තිබේ.

හොරොයින් සහ හෂීස් කුඩා ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බහුදින යාත්‍රාවක් පසුගිය අගෝස්තු මාසයේ ගාල්ලේ නාවික හමුදා සෙබළුන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව එම යාත්‍රාව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදි දැල් අතර සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 84කට අධික පුමාණයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය අගෝස්තු 18 දින සොයාගනු ලැබිණ.

අගෝස්තු 7 වෙනි දින මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ‘නෙත්සර’ නමැති එම ධීවර යාත්‍රාව මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා නිලධාරින් විසින් පරීක්ෂා කළ අවස්ථාවේ හෙරොයින් මිලි ග්‍රෑම් 300ක් සහ හෂීස් මිලි ග්‍රැම් 300ක් සන්තකයේ තබාගෙන සිටි ස්කිපර්වරයා අත් අඩංගුවට ගනු ලැබිණ.

ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 200 කට අධික වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් පසුගිය නොවැම්බර් 03 වෙනි දින නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදි.

පසුගිය අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගනු ලැබූ ‘නෙත්සර’ බහුදින යාත්‍රාව

නාවික හමුදාව ගාල්ලට නුදුරු මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර තිබේ. එහිදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමෙන් අනතුරුව යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අත්අඩංගුවට ‍ගනු ලැබිණ.

‘සී ෂෙල්ස් දූපත්වලට ගංජා ජාවාරමක්’
ධීවරයන් ඈත මුහුදේදි සී ෂෙල්ස් දූපතේ සිට පැමිණෙන බෝට්ටුවලට ගංජා පටවා එම බෝට්ටුවලින් ගෙන එනු ලබන වෙනත් මත්ද්‍රව්‍ය බහුදින යාත්‍රාවලට පටවාගෙන එන බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි බලධාරීහු පවසති.

පසුගිය වසරේ බහුදින යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාර ධීවරයින් හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.

2019 දෙසැම්බර් 6 වෙනි දින බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඔවුන් පසුදින ගාල්ල මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් පරීක්ෂා කොට තිබේ. එහිදී යාත්‍රාව තුළ තිබී පාර්සල් 9ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15ක් සමඟ අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ සැකකාර ධීවරයින් මෙම ගංජා තොගය සී ෂෙල්ස් දූපත්වලට ප්‍රවාහනය කරමින් තිබී ඇති බවය.

මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා ඉතා ඉහළ ජාත්‍යන්තර සහයෝගයක් තමන් වෙත ලැබෙන බව පවසන ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ හේතුවෙන් ඉතාමත් පුළුල් ලෙස මෙහෙයුම් දියත් කරමින් සාර්ථක වැටලීම් සිදුකිරීමට හැකි වී තිබෙන බවත් සඳහන් කරයි.

– bbc

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *