Type to search

රු. 14/- කින් වේලක් කන්න පුළුවන්ද? – කොළඹ ලොක්ඩවුන්වීමේ වේදනාව

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පසුගිය දින කිහිපය පුරාම කොළඹ මහල් නිවාස ආශ්‍රිත ජනතාව පාරට බැස්සේ බඩගින්න උහුලාගත නොහැකි තැනය. එහෙත් රජය ඒ වෙනුවෙන් කිසිවක් සිදු කළේ නැත. සිදු කළ එකම දෙය නම් ආණ්ඩුවේ ලොන්ඩරි දෙපළෙන් එක් අයෙකු වන විමල් වීරවංශ යොදා මෙම අර්බුදය විහිලුවක් බවට පත්කිරීම පමණි.

ආණ්ඩුවේ අසාර්ථක බව

මේ කරුණ හමුවේ ආණ්ඩුවේ අසාර්ථක බව මුලින්ම මතුවී පෙනෙන්නේ උක්ත මහල් නිවාස ආශ්‍රිතව සහ වතු ආශ්‍රිතව වසංගතය පැතිර යාම වළක්වා ගැනීමට අසමත් වීම හරහාය. වතු හා මහල් නිවාස ආශ්‍රිතව පවතින ජීවන සංස්කෘතිය හා වටපිටාව ආණ්ඩුව කරන්නන්ට සහ සෞඛ්‍ය බලධාරීන්ට අමුතුවෙන් කියාදිය යුතු නැත. මීට පෙර, මුල්ම වතාවට රට වසා දැමූ අවස්ථාවේදීද වඩාත්ම පීඩාවට පත්වූයේ මේ ජනතාවය. එහෙත් එවර මෙන් මෙවරද දෙවන කොරෝනා රැල්ල එන මොහොතේ පවා ආණ්ඩුවට වතු සහ මහල් නිවාස ආශ්‍රිත ජනතාව පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණේ නැත.

මෙවැනිම ආකාරයේ සංවෘත්ත ජන සංයුතියක් ඇති කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව පළමු හා දෙවන රැල්ලේ වසංගත තත්ත්වය පැතිර ගිය ආකාරය නිරීක්ෂණය කර ආදර්ශ වසංගත රෝග පාලන වැඩපිළිවෙළක් හෝ වතු හා මහල් නිවාස ආශ්‍රිත ජනතාව වෙත ක්‍රියාත්මක කළා නම් මේ ආකාරයට ජනතාව පීඩාවට පත් වීම වළක්වා ගත හැකිව තිබුණි.

ආණ්ඩුවේ කොරෝනා සම්බන්ධව ක්‍රියාත්මකවීමේ ප්‍රතිපත්තිය වන්නේ “අපි හොඳම සහ අපි කියන විදිහට හිටපල්ලා” යන්නයි. එසේ නොමැතිව තමන්ගේ හැකියාවන් හා නොහැකියාවන් හඳුනාගෙන තිබිණි නම් ඉතා අපූරුවට මේ මිනිසුන්ගේ ගැටලු කළමනාකරණය කිරීමට තිබුණි. හොඳම අපි නොවේ, ආදර්ශ සපයා ගත හැකි ඕනෑ තරම් උදාහරණ ඇත. තමන්ගේ මිනිසුන් බලා සිටියදී එකා පිට එකා මැරී වැටුණු ඉතාලිය පවා තමන්ගේ මිනිසුන් හාමතේ තැබුවේ නැත. රැකියාවන් අහිමිවූ ආයම්මලා පවා රජය බලා ගත්තේය. ලංකාවේ ආණ්ඩුව මෙන් මිනිසුන්ට පරිප්පුයි බතුයි කන්න කීවේ නැත. ඒ නිසා අපි හොඳම වන බවට වූ මුලාව පසෙක තැබිය යුතුය.

අනෙක් අතට ආණ්ඩුව කියන ආකාරයට මිනිසුන් සිටීමට සූදානම් නැති බව ආණ්ඩුව වටහා ගත යුතුය. ප්‍රායෝගිකවම ඔවුන්ට එය කළ නොහැකිය. එදා වේල හම්බ කරගෙන කන මිනිසුන්ට මාස ගණන් නිවෙස්වලට සිර වී සිටිය නොහැකිය. කුඩා දරුවන් සඳහා ආණ්ඩුව සපයා තිබූ සහන මොනවාද?

එහෙත් ආණ්ඩුව මහල් නිවාස ආශ්‍රිතව වෙසෙන ජනතාවගේ මානසික සුවය උදෙසා යැයි පවසා සිදු කළ එකම දෙය නම් මිලිටරි සංගීත කණ්ඩායම් යොදවා මිලිටරි ගීත කීම පමණි.

ආණ්ඩුව කියන්නේ විදෙස් රටවල් තරමට පහසුකම් ජනතාවට දෙන්නට ලංකාවට මුදල් නොමැති බවය. එහෙත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සැප විඳින්ට යහමින් මුදල් ඇති බව ජනතාවට මතකය. බිලියන ගණන් ආධාර කොරෝනා නිසා ලද බව මිනිස්සු දනිති.

ආණ්ඩුව මෙම ජන ප්‍රජාවන් පිළිබඳව නොසලකා හැරීම තවත් තියුණු අර්බුදයක් නිර්මාණය කරන්නක් බවට පත්වූයේ එම ජනතාවගෙන් බහුතරය එදිනෙදා රැකියාවක් කර මුදලක් සොයාගෙන ජීවත් වන්නන් වන බැවිනි. තවමත් වසා දමා ඇති ප්‍රදේශ වන මෝදර හා කුඹුලාවල ප්‍රදේශ ඊට හොඳම නිදසුන්ය. මෝදර උයන මහල් නිවාස සංකීර්ණයෙහි වෙසෙන විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන සෙබස්තියන් සමග සාකච්ඡාවක වන නිරත වන්නට අපට හැකිවිය.
“මේ හරියෙ සීයට අනූවක්ම එදිනෙදා වැඩක් කරල කීයක් හරි හොයා ගන්න මිනිස්සු. මේක නිකම්ම හලා දාපුවහම මේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැතුව ගියා. කොහොම හරි මුල් දවස් ටිකේ අල්ලගෙන හිටිය පස්සෙ මිනිස්සු එක්කෙනා දෙන්න එළියට බැහැල ඇවිදින්න ගත්තා. මොකද සමහර ගෙවල්වල හත්අට දෙනා ඉන්නව.”

මේ මිනිසුන්ගේ සමාජ ජීවන රටාව පිළිබඳව තඹේකට මායිම් නොකළ ආණ්ඩුව ඔවුන් වාසය කරන ප්‍රදේශ වසා දැමීමට ක්ෂණිකව තීරණය කළේ ඔවුන් ජනාධිපති තුමාගේ ගෙවල් ළඟ හංදියේ වඬේ කඩල විකුණන්නේ නැති නිසා දැයි දන්නේ නැත. ජනාධිපති තුමාගේ ගෙවල් ළඟ හංදියේ මිනිසුන් සේ ම බාගවිට ඊටත් වඩා මේ මිනිස්සු අසරණ වී සිටිති. ජනාධිපතිතුමාගේ හංදියේ කඩලකාරයා සහ වඬේකාරයාට කඬේ වසාගෙන සිටින්නට සිදුවූයේ සති දෙකකි. එහෙත් මේ මහල් නිවාසවල ජනතාව පසුගිය අට වැනිදා සිට නිවෙස්වල සිරවී සිටී.

අප මේ කියන්නේ මේ මිනිසුන්ට නිවෙස්වලින් පිටතට පැමිණ පාරවල් පාරවල් ගානේ ඇවිදින්නට දෙන්න යැයි කිසිවෙකු වරදවා වටහා ගත යුතු නැත. ඔවුන්ට නිවෙස් තුළම රැඳෙන්නට උවමනා යැයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනවා නම් ඔවුන්ට රැකෙන්නට ක්‍රමයක් සකසා දෙන ලෙසය.

මේ මහල් නිවාසවාසීහු පවසනුයේ සිය ප්‍රදේශ වසා දැමීමට ප්‍රථම රුපියල් දස දහසක යැයි පැවසෙන බඩු මල්ලක් ලබා දුන් බවය. එහි සුදු කැකුලු කිලෝ 25ක්, කඩල, මුං ඇට, පරිප්පු, සීනි, කොත්තමල්ලි, සුදු ලූණු, අල, රට ලූණු, සැමන්, සබන් ඇතුළු තවත් භාණ්ඩ වර්ග කිහිපයක් තිබී ඇත. කෙසේ නමුත් ලිපිය ලියන මොහොත වන විට අදාළ ප්‍රදේශ වසා දමා දින දා හතක් ගෙවී ගොස් ඇත. මේ දින දාහත තෙක් ඔවුන් වෙත ලැබී ඇත්තේ එකී බඩු මල්ල පමණි.

“කැකුලු හාල් හැමෝටම කන්න බෑ, සමහරුන්ට මේව උෂ්ණයි. අපේ ගෙදරට හම්බුන ටික තවමත් එහෙම්මම තියනව. ඒව කන්න බෑ. ඒ හාල් කාල අපේ පල්ලෙහා ගෙදරක කෙනෙක් අසනීප වුණා. ඒ සැමන් කන්න බෑ. ඒවයෙ අමුතු රහක් එනව. ලේබල් එකේ කල් ඉකුත් වෙච්ච බවක් පේන්න නැති වුණාට මම හිතන්නෙ ඒව කල් ඉකුත් වෙච්ච සැමන්.”

නිවසක සිටින්නේ වැඩිහිටියන් පමණක් නොවේ. කුඩා දරුවන්ද, අත දරුවන්ද සිටිති. එහෙත් මේ බඩු මල්ල තුළ ඒ දරුවන්ට උවමනා කරන ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය නොතිබූ බව ඔවුහු පවසති. එසේම කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍යද දින ගණනාවක් තිස්සේ ලොක් ඩවුන් වී සිටින ඔවුන්ට ලබා ගැනීමට නොහැකිය.

“ගෙයින් එළියට අඩියක් තියන්න එපා කියල තියෙන්නෙ. කන්න බොන්න නැතුව අපට ගෙවල් ඇතුළෙ මැරෙන්න වෙන්නෙ. ඉස්සර ඇත්තටම කොරෝනා හැදිල මැරෙයි කියල බය තිබ්බ. හැබැයි දැන් බය කන්න නැතුව මැරෙයි කියල.”

ලොකුම ගින්න බඩගින්න බව ආණ්ඩුවට අමතක වී ඇති හැඩය. කොරෝනා බියට ඔවුන්ව ජීවත් කරවිය නොහැකිය. ආණ්ඩුව මේ මිනිසුන්ගේ හඬට බිඳක් හෝ කන් දෙන්නේ නැත. ඒ මොවුන් සමාජයේ පීඩිතම ජනතාව අතරින් පිරිසක් නිසා දැයි අප නොදනිමු. කන්න ඉල්ලන අහිංසක මිනිසුන්ට ආණ්ඩුව පොලීසිය යොදවා පහර දෙයි. එසේතුච්ඡ ආකාරයට වසංගත කාලයක මිනිසුන්ට සැලකිය හැකිද?

“අපේ අයත් දැන් කතා කරනව එළියට බැහැල කන්න දෙයක් ඉල්ලන්න. අපි හිඟන්නො නෙවෙයි. ලොකු ලොකු රස්සා නොකළට අපි කාටවත් අතපාන්නෙ නැතුව කාල ඇඳල හිටිය. දැන් අපේ රස්සා නෑ. රස්සාවට යන්න විදිහක් නෑ. මිනිස්සුන්ට ගෙවල් ඇතුළෙ කන්න බොන්න නැතුව මැරිල යන්නද කියන්නෙ. මීට වැඩිය හොඳයි කොරෝනා හැදිල මැරිල ගියානං.” ඒ ලොක්ඩවුන් කලාපයෙන් කතා කළ කෙනෙකි.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

පාරට බැස බඩගින්නට හඬ නඟන මිනිසුන්ට ආණ්ඩුවේ ප්‍රබල කථිකයෙකු වන විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වූවේ මෙසේය. “රුපියල් පන්දාහක් දෙන්නෙ සතියකින් වියදම් කරන්න නෙවේ. ඔය පවුල්වලට රුපියල් පන්දාහ ගානෙ දීල තියනව. ඒක සතියෙන් වියදම් කරගෙන තමයි දැන් මුකුත් නෑ කියල ඉන්නෙ.”

ඉන්පසුව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මෙසේ පැවසීය. “අපි පන්දහසේ දීමනාව විශාල ප්‍රමාණයකට දීල තියනව. මේ කොවිඞ් වසංගතයත් එක්ක ලොකු දිගු පෝලිම් ගහල මේක දෙන්න පුළුවන්කමක් නෑ. මේ වෙනකොට ඒ කටයුත්ත කරගෙන යනව.”

ඒ අනුව ආණ්ඩුවේ මේ සම්බන්ධ මතය වන්නේ එම විරෝධතා දක්වන ජනතාවට රුපියල් පන්දහසක් ලබා දී ඇති බවත්, ඔවුන් එම මුදල නිසි කළමනාකරණයකින් තොරව වියදම් කර ඇති බවත්ය.

රුපියල් පන්දහසක් දින තිහක් ඇති මාසයකට ලබා දී ඇත්නම් එක් දිනක් සඳහා ආණ්ඩුව විසින් පවුලකට ලබා දෙන මුදල ආසන්න වශයෙන් රුපියල් 167 කි. ඒ අනුව පවුලක් වේල් තුනකින් යුත් දිනකට එක් ආහාර වේලක් සඳහා වියදම් කළ යුතු මුදල ආසන්න වශයෙන් රුපියල් 56 කි. පවුලේ පුද්ගලයන් සිව් දෙනෙකු සිටී නම් එක් පුද්ගලයෙකු සඳහා එක් ආහාර වේලකට වියදම් කළ හැකි මුදල ආසන්න වශයෙන් රුපියල් 14 කි. රුපියල් දාහතරකින් වේලක් කා හැකිදැයි සිතා බැලීම ඔබට බාරය.

“වෙලාවකට ලොරිවලින් බඩු අරගෙන පල්ලෙහට එනව. ඒවයෙ බඩු ගිනි ගණන්. පොල් ගෙඩියක් එකසිය විස්සයි. එළවලුවක් කාපු කාලයක් මතක නෑ. හැමදාම පරිප්පුයි බතුයි කකා ඉන්න පුළුවන්ද?” සෙබස්තියන් අසයි.
සැබෑවටම විමල් වීරවංශගේ නිවසේ විදුලි බිල පවා රුපියල් ලක්ෂය ඉක්මවූ අතර එය ගෙවනු ලැබුවේද එවක රජය විසිනි. මාසයකට පන්දාහක් ඇති කියන්නේ එහෙව් ඇමතිවරයාය.

“අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ. කවුරුහරි කතා කරොත් වාඩි වෙයන් මෝඩය කියල තමයි බනින්නෙ.” සෙබස්තියන් දුරකතනය විසන්ධි කිරීමට මත්තෙන් අවසාන වරට පැව්සීය.

ජීවත්වීමේ අයිතිය

ගමක ජීවත් වනවාට වඩා මෙවැනි නගරබද මහල් නිවාසවල ජීවත් වීම දුෂ්කරය. ජීවත් වනවා කියා ඉන්නවාට ඉඳිය යුතුද නැත. රටේ සෑම පුරවැසියෙකුටම ගුණාත්මක ජීවිතයක් හිමිවිය යුතුය.

ගුණාත්මක දිවිය කෙසේ වෙතත් කන්න දෙයක් ඉල්ල වසංගතයක් හමුවේ ජනතාවට පාරට බහින්නට සිදුවනවා නම් ආණ්ඩුව පාස්ද?

– ravaya.lk

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *