මෛත්‍රීට කොමිසමේදී කලින් දවසේ අමතක වූ දේවල් පසුදා මතක් වෙයි

මෛත්‍රීට කොමිසමේදී කලින් දවසේ අමතක වූ දේවල් පසුදා මතක් වෙයි

මෛත්‍රීට කොමිසමේදී කලින් දවසේ අමතක වූ දේවල් පසුදා මතක් වෙයි

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමන් සිදු කළ ඉන්දීය තිරුපති සංචාරයට සිය දරුවන් ති‌දෙනාම සහභාගී වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ (26) පිළිගත්තේය.

නීතීඥවරුන් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

නමුත් (24) දිනයේදී නීතීඥවරුන් මෙම ප්‍රශ්නය විමසද්දී සිරිසේන මහතා කියා සිටියේ තමන්ට දරුවන් සහභාගී වූවාද යන්න අමතක බවකි.

එමෙන්ම 2018 වසරේදී ඉන්දීය ආරක්ෂක නියෝජිතයන් කණ්ඩායමක් ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් මුණ නොගැසුණු බව මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටි සිරිසේන මහතා (26) දින එය වෙනස් කරමින් එම කණ්ඩායම තමන් හමුවූ බවද කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ (24) දින සාක්ෂි ලබාදුන්නේ මෙසේය:

සිංගප්පූරු සංචාරයෙන් පසුව ඉන්දියාවේ තිරුපති වැඳීමට දරුවන් කී දෙනකු සහභාගි වූයේ දැයි ඇසූ ප්‍රශ්නයකට, තමාට එය අමතක බවට දුන් පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටි නීතිඥයා මෙසේ චෝදනා එල්ල කළේය.

ජනාධිපති කොමිසම හමුවේ හත්වන දිනටත් හිටපු ජනාධිපතිවරයා සාක්ෂි දුන් අතර, වගඋත්තරකාර පාර්ශවලට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව හිමිවුණි.

එහිදී හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, පාස්කු ප්‍රහාරය දින ඉක්මනින් මෙරටට පැමිණීමට ගුවන් ගමන් වාර 3ක් තිබුණත්, සැලසුම් කළ ගුවන් යානයෙන්ම පැමිණියේ මන්දැයි හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, “ගුවන් යානා යන එන වෙලාවල් ජනාධිපති කෙනෙක් හැටියට මම දන්නේ නැහැ. මම කරන්නේ නිලධාරින් මට වෙලාව කිව්වම එතනට යන එක. අනික ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා මට එන්නතක් දුන්නට පස්සේ පැය 24 ක් යනකල් ගුවන් ගමන් තහනම් කරලයි තිබුණේ. එහෙම තියෙද්දිත් පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය නොසලකා මම එදින මධ්‍යම රාත්‍රී ලංකාවට ආවේ,” යනුවෙනි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නියෝජනය කළ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා ඉන් පසුව හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න කරනු ලැබුවේය.

“සාක්ෂිදීමේදී ඔබ කියා සිටියා, අප්‍රේල් 20, 21 දුරකථන ඇමතුමක් හා සම්බන්ධවීමටත් නොහැකි තරමේ අපහසුතාවයකින් හිටියේ කියලා. නමුත් ඔබ, 16 වැනිදා කෙලින්ම සිංගප්පුරු නොගොස් ඉන්දියාවේ තිරුපති වන්දනාවට ගියා,” නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, එය මාගේ වාර්ෂික වන්දනා ගමනක් බවය.

“හිටපු ජනාධිපතිතුමනි, ලක්ෂ ගාණක් වන්දනාකරුවන් ඉන්න තිරුපතිවල තෙරපෙමින් වන්දනාවේ යාම දුෂ්කර ගමනක්. ඉතිං 20, 21 වෙද්දී Call එකක් Answer කරන්න බැරි තරමට අපහසුවෙන් හිටපු ඔබතුමාට තිරුපති වන්දනා කරන්න පුළුවන් වුණාද?” යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළේය.

“තෙරුවන්ගේ සරණින්, දෙවි පිහිටෙන් එහෙම බරපතළ අමාරුවක් තිබුණේ නෑ,” හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

“16 වෙනිදා මේ ගමනට ඔබේ බිරිඳ, දරුවන් තිදෙනා සහභාගි වුණාදැයි” නීතිඥවරයා ප්‍රශ්න කළේය.

මඳ සිනහවකින් ඊට පිළිතුරු දුන් සිරිසේන මහතා, ” දරුවන් තුන්දෙනාම ගියාද කියලා මට මතක නැහැ. නමුත් බිරිඳ නම් ගිය බවට මතකයි,” ප්‍රකාශ කළේය.

එහිදී යම් ආවේගයකින් ප්‍රශ්න කළ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
“හිටපු ජනාධිපතිතුමනි මේක විහිළුවක් නෙමේ. ජාතික ආරක්ෂාව මුළුමනින්ම තර්ජනයකට ලක්වූ ඉතාමත්ම ඛේදජනක අවස්ථාවක රටේ ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක ඉඳලා තියෙන්නේ. 16 වෙනිදා ගුවන් තොටුපොළෙන් පිටත් වෙද්දී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගුවන් යානය ඇතුළටම නැගලා සැලුට් ගැහුවා කියලා ඔබතුමාම මේ කොමිසමට කිව්වා. එහෙම කියන්න මතකයක් තිබ්බ ඔබතුමාට තමා එක්ක ගිය තමාගේ දරුවන් කවුද කියලා මතක නැහැ කියලා පිළිගන්න කියලා ද ඔබ මට කියන්නේ,” යැයි ප්‍රශ්න කළේය.

“මට ඇත්තටම මතක නැහැ ස්වාමීනි” යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී පිළිතුරු දුන්නේය.

” එහෙනම් හිටපු ජනාධිපතිතුමනි, ඔබ සිංගප්පුරුවට ගිහින් නැවතුණේ මොන හෝටලයේද කියලා. රිට්ස් කාල්ටන් හෝටලයේද නැත්තම් මරිනා බේ සෑන්ඩ් හෝටලයේදැයි” නීතිඥවරයා හිටපු ජනාධිපතිතුමාගෙන් විමසා සිටියා.

“අම්මෝ, ඒ මොකක්ද ඒ. ඔය මරිනා බේ සෑන්ඩ් කිව්වේ අර කණු දෙකක් උඩ තියෙන නැවක් වගේ එක නේද, මම හිතන්නේ නැහැ ලංකාවේ කාටවත් ඒ වගේ එකක නැවතිලා ඉන්න පුළුවන් කියලා. ඒක මේ කැසිනෝ වගේ දේවල්වලට මහ ප්‍රසිද්ධ හෝටලයක්නේ. මම නම් හිටියේ පොඩි හෝටලයක. මට ඒකේ නම නම් මතක නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

“ඔබ, සිංගප්පුරුවේ සිටි දවස් හතර තුළ ලංකාවේ ඉඳලා කෙළින්ම සිංගප්පුරුවට ගිය කවුරු හරි ඔබතුමාව හම්බවෙන්න ආවද?” නීතිඥවරයා විමසා සිටියේය.

“නැහැ මට එවැනි කවුරුත් ආවා කියලා මතක නැහැ.”

“හිටපු ජනපතිතුමනි, ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ දිව්රුම් පිටයි. ඔබ සිංගප්පුරුවේ රැඳී හිටපු දින කිහිපය තුළදී මෙරටින් ගිය හිටපු අමාත්‍යවරයෙක්, ප්‍රාදේශිය දේශපාලනඥයෙක් ඔබව හමුවීමට අවේදැයි,” නීතිඥවරයා යළි විමසා සිටියේය.

එවිට ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමාට එවැනි සිද්ධියක් මතක නැති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *