වරදකරුවකු වු‍ණොත් දඬුවම් විඳීමට සූදානම් – හිටපු ජනාධිපති

වරදකරුවකු වු‍ණොත් දඬුවම් විඳීමට සූදානම් - හිටපු ජනාධිපති

වරදකරුවකු වු‍ණොත් දඬුවම් විඳීමට සූදානම් - හිටපු ජනාධිපති

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසියම් විමර්ශනයකින් වරදකරුවකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම හමුවේ ඊයේ (25) කියා සිටියේය.

එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශවල සියලුදෙනා වගකිවයුතු වුවද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිදු වගකීමක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ අවසන් විය.

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස බලවත් රාජ්‍යයන් මැදිහත් වූ බව තමන් විශ්වාස කරන බවත් ප්‍රහාරය පිටුපස විදේශ හස්තයක් තිබූ බවත් හෙතෙම මෙහිදී කීවේය.

ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අමෙරිකාව, ඉන්දියාව, එංගලන්තය වැනි රටවල් ගණනාවක බුද්ධි විශේෂඥයන් පැමිණ මෙරට බුද්ධි අංශ සමඟ එක්ව මාස හයකට වැඩි කාලයක් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවත් සහරාන් පිටුපස සිටියේ කවුද යන්න ඔවුන්ට අනාවරණය කර ගැනීමට නොහැකිවීම මහත් ප්‍රශ්නයක් බවත් පැවැසීය.

සහරාන් නෙමෙයි මේ සංවිධානයේ නායකයා. කවදාවත් නායකයා ප්‍රහාරයක් සිදු කරමින් මැරෙන්නේ නැහැ. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා සාක්ෂි දෙමින් මින් පෙර ප්‍රහාරයක් සැලසුම් කර තිබූ බව කියා තිබුණා. පිපිරීමෙන් දින දෙකක් යෑමට පෙර එය අයිඑස් ප්‍රහාරයක් බවට අයිඑස් නායකයා කියා තිබුණා. මේක කුමන්ත්‍රණයක් කියා මා කියන්නේ සහරාන් කිසියම් විදේශ හස්තයකින් මෙහෙයවන බව පෙනී යන නිසා යැයි කියා සිටි හිටපු ජනාධිපතිවරයා සහරාන් ඇතුළු කණ්ඩායමට ප්‍රහාරය කරන්න උපදෙස් ලැබුණේ කොහෙන්දැයි අනාවරණය නොවීම ගැටලුවක් බවද කියා සිටියේය.

යහපාලන රජය වසර හතරක කාලයක් තිස්සේ නීතිය හා සාමය අමාත්‍යාංශය මෙහෙයවනු ලැබූ බවත් බුද්ධි නිලධාරීන් සිරගත කරමින් බුද්ධි අංශ දුර්වල කළ බවත් කියා සිටි හිටපු ජනාධිපතිවරයා එනිසා මෙරට බුද්ධි අංශ මන්දෝත්සාහී වූ බවත් ඉන් අන්තවාදීන් වර්ධනය වූ බවත් කොමිසම හමුවේ අවධාරණය කළේය.

අවුරුදු හතරක් තිස්සේ යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් සිදු නොකළ දේ මාස හතරක් තුළ තමන්ට සිදු කළ නොහැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *