“ඒ ගොන් වැඬේ කළ ගමන් ආර්ථිකයට වදිනවා “– මුජිබර් රහුමාන්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයෙකු, දේශපාලන නායකයෙකු වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබගේ පෞද්ගලික මතය මොකක්ද?

ප්‍රධානම දේ තමයි, මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සංවිධානයවීමක් ගැන, සංවිධානය වෙන්න අභ්‍යන්තර සාකච්ඡාවක් හරි වුණා කියන එක ගැන කිසිම හෝඩුවාවක් මට ලැබී තිබුණේ නෑ. ඇත්තටම ඒක හරිම ගැටලුවක්. මට පේන විදිහට මේක විශාල සංවිධාන ශක්තියක් පිටිපස්සේ සිට මෙහෙයවපු ප්‍රහාරයක්. මොකද, දහදාහක විතර බුද්ධි අංශයක් රටේ තියනවා. හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය, පොලිස් බුද්ධි අංශය විතරක් නෙවෙයි ඒ ඒ ප්‍රදේශවල ප්‍රධාන පොලිසිවලත් බුද්ධි අංශයක් තියනවා. ඒ හැම එකක්ම මඟහරවා ගෙන ගිහිල්ලා මේ ප්‍රහාරය එල්ල වුණේ කොහොමද කියන ඉතාම ගැටලුසහගතයි. මේක දවසින් දෙකින් සංවිධානය කරපු එකකුත් නෙවෙයි. 2015 අපේ ආණ්ඩුව බලයට එන්නත් කලින් ඉඳන්ම සහරාන් යම් යම් සංවිධානයන් කරලා තියනවා. කෙහෙළිය රඹුක්වැල්ල රූපවාහිනී සංවාදයේදී පිළිගත්තා ඒ අයගේ ආණ්ඩුව සහරාන්ටත් පඩි ගෙව්වා කියලා. දැනට තියන තොරතුරු අනුවත් පැහැදිලියි සහරාන්ලා 2015ට කලින් පැවැති ආණ්ඩුවත් එක්ක යම් යම් ගනුදෙනු කරලා තියනවා. එහෙම තත්ත්වයක් තිබිලා කොහොමද මේ රටේ බුද්ධි අංශ මඟහරවා ගෙන මේ වැඬේ කළේ? අනෙක මේ තොරතුරු දෙන්නේ ඉන්දියාවේ පොලිසියේ බුද්ධි අංශය. අපේ රටේ බුද්ධි අංශය මේ ගැන දන්නේ නැතිව ඉන්දියාවේ පොලිස් බුද්ධි අංශය මේ ගැන දැනගත්තේ කොහොමද කියන එකත් හරි ප්‍රශ්නයක්. එහෙම නම් ලංකාවේ ආණ්ඩුවෙන් පඩි ගත්ත සහරාන්ගේ කල්ලිය ඇතුලේ ඉන්දියාවේ බුද්ධි අංශයේ කවුරුන් හරිත් ඉන්න ඕනේ. එහෙම නැත්නම් කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්ත ආකාරයට සහරාන්ලට ඒ ආණ්ඩුව සමග තිබුණු සම්බන්ධකම් වගේම ඉන්දියාවේ බුද්ධි අංශ එක්කත් සම්බන්ධකම් තියෙන්න ඕනේ. නැත්නම් අපේ රටේ බෝම්බ පුපුරුවන එක ඉන්දියාව දැනගන්නේ කොහොමද? මට තේරෙන දේ තමයි මුස්ලිම් සමාජය තුළ ඉන්න කිසියම් අන්තවාදී විදිහට කල්පනා කරන උදවිය ටිකක් අල්ලාගෙන, කිසියම් බලවේගයක් මොකක් හෝ අරමුණක් වෙනුවෙන් කළ දෙයක් ඕක. එහෙම නැතිව මුස්ලිම් සමාජය තුළ ඔවැනි අදහස්වලට වලංගුභාවයක් නෑ. මොකද උතුරේ යුද්ධය වෙලාවේ එල්ටීටීඊය විශාල ජන සංහාරයක් කළ වෙලාවෙවත් මුස්ලිම් සමාජය ආයුධ අරගෙන සංවිධානය වෙලා ගහන්න ගියේ නෑ. ගුටිකෑවා මිසක්.

පාස්කු ප්‍රහාරය ගැන විවිධ ආකාරයේ පරීක්ෂණ, විමර්ශන සිදුවුණා. පාර්ලිමේන්තු කාරක සභාවකුත් පත් කොට කරුණු සොයා බැලුවා. ඒ කිසිවකටත් නොකැඳවූ ඔබව මෙවර කොමිසමට කැඳවන්නට බලපෑ කරුණු මොනවාද? කොමිසමේදී මොන වගේ විමසීම් සහ ප්‍රතිචාරද පළවුණේ?

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන මම මාධ්‍යවල යම් යම් කරුණු කතා කළ හින්දා, ඒ කරුණු ගැන ඔවුන්ට දැනගන්න ඕනේ හින්දා තමයි මේ කොමිසමට මාව කැඳෙව්වේ. මූලික වශයෙන් ප්‍රශ්න කළේ මීට කලින් සහරාන් ගැන දැනගෙන හිටියේ නැද්ද කියන එක ගැන. මම කිව්වා ඇත්තටම ඔය ප්‍රහාරයට කලින් සහරාන් කියන පුද්ගලයාගේ නමවත් අපි අහලා තිබුණේ නැති බව. ඉන්ටනෙට්වල ගිය එයාගේ කතාවක් මට කවුරු හරි කෙනෙක් වට්ස්ඇප්වල එවලා තිබුණා. ඒක බලනකොටත් මම දන්නේ නෑ මෙයා සහරාන් කියලා. එයා මවුලවී කෙනෙක් කියලා කියනවා. නමුත් මේ ප්‍රදේශවල හිටියේ නෑනේ. මඩකළපු කාන්තාන්කුඩිවල හිටියේ. ඒ හින්දා අපිට ලොකු දැනීමක් තිබුණේ නෑ ඔහු ගැන. නමුත් ඒ වීඩියෝ ක්ලිප් එක බැලුවාම මට තේරුණා හරිම වෛරයෙන් කතා කරන නිසා මොනාහරි පිස්සුවක් කරයිද කියලා. ඒ හැඟීම ඇතිවුණ නිසා මම පොලිස් මූලස්ථානයට මේ ගැන පැමිණිලි කළා මොහුව අත්අඩංගුවට ගන්න කියලා. බෝම්බයෙන් පස්සේ තමයි දැනගත්තේ මේ වීඩියෝ එකේ දේශනය කළ එකා තමයි සහරාන් කියන්නේ කියලා. එහෙම නැතිව ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි සහරාන් කියන්නේ. ඒ හින්දා තමයි කවුරුවත් එයාව දන්නේ නැත්තේ. කාන්තාන්කුඩිවලට සීමාවෙලා තමයි ඔය දේශන කරලා තියෙන්නෙත්. කොහොම හරි මිනිහා රහසිගතව යම් සංවිධානයක් කරලා තියනවා කියන එක පේනවා.

ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බව කියන සහරා ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ඔබ කොමිසමේදී අවධාරණය කළා. ඔබ දකින එහි ඇති විශේෂ වැදගත්කම මොකක්ද? ඔබගේ කරුණු දැක්වීම අරභයා ලැබුණු ප්‍රතිචාරය කොයි වගේද?

සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ හිටපු සාමාජිකාවක් තමයි සහරා. කටුවාපිටිය පල්ලියේ මරාගෙන මැරුණු බෝම්බකරුගේ බිරිඳ. නමුත් සහරා සුසයිඞ් මිෂන් එක කරන්නේ නෑ. සහරා බේරෙනවා. ඉස්සෙල්ලාම කිව්වේ ඇයත් සායින්දමරුදුවල සහරාන්ගේ බිරිඳගේ කට්ටියත් එක්ක හිටියා, එතන මැරුණා කියලා. නමුත් ඒක තහවුරු වුණේ නෑ. ඊළඟට මඩකළපුව ට්‍රැෆික් අංශයේ හිටපු ස්ථානාධිපති කෙනෙක් අත්අඩංගුවට ගන්නවා සහරා අරන් ගිහිල්ලා මන්නාරමට දැම්මා කියලා. දැනට තොරතුරු තියෙන්නේ එයා ඉන්දියාවට පලාගිහිල්ලා එහෙ ඉන්නවා කියලා. ඉතිං සහරා ලංකාවට ගෙන්වා ගත්තොත් මේකේ ඔක්කොම සුළමුළ හොයාගන්න පුළුවන්. ඒක ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලන්න ඕනේ. එදා අගමැතිතුමයි මෝඩියි අතර සාකච්ඡාවක් ගිය එකේ එක කාරණාවක් තමයි ත්‍රස්තවාදය පිටු දැකීම සහ ජාතික ආරක්ෂාව. ඒකට කලින් තමයි මම කොමිසමේදී සහරා ගෙන්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේ. මාධ්‍යවලත් ඒ ගැන පළවුණා. නමුත් මම දැක්කේ නෑ මේ සාකච්ඡාවෙදි අගමැතිතුමා මෝඩිගෙන් සහරාව ඉල්ලනවා. ප්‍රහාරය ගැන ඇත්ත හෙළිකර ගන්න සැබෑ වුවමනාවක් ආණ්ඩුවට තිබෙනවා නම් ඒ වෙලාවේ අගමැතිතුමාට මෝඩිගෙන් ඉල්ලන්න තිබුණා ‘සහරාව දෙන්න’ කියලා. එහෙම කළේ නෑ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව සහරා ගැන හොයන්නෙත් නෑ. සහරා මැරුණේ නෑ කියන එක තහවුරුයි. එහෙමනම් සහරා කෝ? ආණ්ඩුව සහරාව හොයනවාද? ආණ්ඩුව මොකක්ද එයා හොයන්න දියත් කරලා තියන වැඩපිළිවෙළ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් පිරිස් තවමත් අත්අඩංගුවේ සිටින බවට වාර්තා වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මොකක්ද?

නඩු පැවරීමක් නැතිව රැඳවුම් නියෝග මතත්, රිමාන්ඞ් බන්ධනාගාරයෙත් සීයකට අධික ප්‍රමාණයක් තවමත් තියාගෙන ඉන්නවා. ඒ අය ගැන නීතිමය පැත්තෙන් යම් යම් කරුණු කාරණාවලට අපි මැදිහත් වුණා. අපේ ආණ්ඩුව කාලෙත් අපි නීතිපති දෙපාර්තමේන්තුවටත් කිව්වා ඒගොල්ලන්ට චෝදනා තියනවා නම් නඩු දාන්න, එහෙම නැති අය නිදහස් කරන්න කියලා. නමුත් රිෂාඞ් බදුර්දීන්ගේ සහෝදරයාට තරම් ඉක්මනින් මේ අය ගැන කටයුතු සිදුවුණේ නෑ.

පාස්කු බෝම්බ ප්‍රහාර, රට තුළ වහාබ්වාදය පැතිරවීමේ ප්‍රතිඵලයක් බවත්, ඒ පසුපස මුස්ලිම් විද්වතුන්ගේ සංවිධානය (උලෙමා) සිටින බවටත් චෝදනාවක් තියනවා. සිංහල ජනතාව සමග සාමකාමීව සහජීවනයෙන් ජීවත් වූ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව මත උලෙමා සංවිධානය වහාබ්වාදී ආධිපත්‍ය පතුරවමින් යන බවයි අහන්නට ලැබෙන්නේ. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?

මුස්ලිම් සමාජය තුළ යම් යම් නිකාය කිහිපයක් තියනවා. ඒ නිකාය අතරත් යම් යම් ආගමික මතවාදී වෙනස්කම් තියනවා. ඒක තමයි ඔතන තියන ප්‍රධානම දේ. ඒ තිබුණාට මුස්ලිම් සමාජය තුළ ඒ නිසා ලොකු ගැටුමක් නෑ. එකම නිවෙස තුළත් විවිධ නිකායවල කට්ටිය ඉන්නවා. පුතා මේ නිකායේ. තාත්තා අර නිකායේ. බෝම්බ සිද්ධියෙන් පස්සේ, මේවා ගැන දන්නේ නැති එළියේ ඉන්න පිරිසක් මාධ්‍ය තුළට ඇවිල්ලා ලොකු විවේචන කරන්න පටන් ගත් නිසා මේවා ගැන නොදන්න අය හිතන්නේ මෙතන ලොකු අවුලක් තියනවා කියලා. එහෙම අවුලක් නෑ. මේවා එක එක්කෙනා එක එක විදිහට විග්‍රහ කරනවා. සහරාන් මරාගෙන මැරුණේ වහාබ්වාදය නිසා කියලා සමහර අය විශ්වාස කරනවා. සමහර අය විග්‍රහ කරනවා මද්‍රසාවල අධ්‍යාපනයේ ප්‍රශ්නයක් කියලා. ඒ ඒ අයට වාසි වෙන විදිහට ඒ ඒ අය විග්‍රහ කරනවා. මේක එහෙම එක එක දේවලට ලඝු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඊට එහා ගිය ප්‍රශ්නයක්. මේ රටේ ඉන්නවා සහරාන්ගේ බෝම්බෙත් එක්ක පණ ආව කට්ටියක්. ඒ පිරිස තමයි මුස්ලිම් විරෝධය සමාජය තුළ ඇති කරන්න ඔය විග්‍රහ කරන්නේ.

ගව ඝාතනය නතර කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන ප්‍රශංසා වගේම විවේචනත් එල්ලවෙමින් තිබෙනවා. ගව මස් වෙළෙඳපොලට සැපයීමේ ප්‍රමුඛව නිරතව සිටින මුස්ලිම් ප්‍රජාව සහ ඔබ මේ තීරණය දකින්නේ කොයි ආකාරයෙන්ද?

මේ රටේ බහුතරයේ කවුරුවත් ඉල්ලුවේ නැති දෙයක්නේ මේ කරලා තියෙන්නේ. ඒක පිටිපස්සේ දේශපාලනයක් තියනවා. ඕක දේශපාලන වුවමනාවක්. මේ වෙලාවේ ආණ්ඩුවේ යම් යම් ප්‍රොජෙක්ට් ටිකක් තිබෙනවා. ඒ ටික කරන්න බහුතර ජනතාවගේ අවධානය වෙන පැත්තකට යවලා ඒගොල්ලන්ට පොඩි චූන් එකක් දෙන්න තමයි ගව ඝාතනය නතර කරන්නේ. ඕක ජනතාව අන්දන්න කරන වැඩක්. මොකක්ද ගව ඝාතනය නතර කළාම මේ රටට ලැබෙන වාසිය. බුදු දහමට අනුව කරනවා නම් ගව ඝාතනය විතරක් නෙවෙයිනේ නතර කරන්න ඕනේ. ‘මේක බෞද්ධ රටක්, අපි කිසිම සතෙකු ඝාතනය කරන්නට ඉඩ දෙන්නේ නෑ, උඹලා ඔක්කොමලා එළවළුයි බතුයි කාපල්ලා’ කියලා අනෙක් සතුන් මරණ එකත් නවත්වන්න ඕනේ. එහෙම නම් ඒකේ තර්කයක් තියනවා කාටවත් ඒක බැහැර කරන්න බෑ. මේකේ මොකක්ද තියන තර්කය? මේක කරන්නේ එක් ජන සමාජයක් ඉලක්ක කරලා. ගව මස් කන්නේ මුස්ලිම් අය විතරක් නෙවෙයි. මුස්ලිම් නොවන අය ඊට වඩා ගව මස් කනවා. නමුත් ඒ ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ මුස්ලිම් අය. ඒකයි ඇත්ත කතාව. මේ ව්‍යාපාරයනේ ඉලක්ක කරන්නේ. ඒකනේ කන්න ඕනේ නම් පිටරටින් ගෙනල්ලා කන්න කියන්නේ. අනෙක් ආනයන ඔක්කොම නවත්තලා ගව මස් විතරක් ආනයනය කරනවා. ඒකට කොච්චර විදේශ විනිමය වැයවෙනවාද? මේ අය තේරුම් ගන්නේ නෑ මේක අද කර්මාන්තයක් බව.

ගව මස් හැර ගවයන්ගේ සම් ආදි අනෙකුත් දේවලින් කරන ව්‍යතිරේඛ කර්මාන්ත රාශියක් තියනවා. ඒ සියලු දේට මේක බලපානවා. ගවයා තමන්ගේ දෙවි කෙනෙක් විදිහට පිළිගැනීමක් තියන හින්දු බහුතරයක් ඉන්න ඉන්දියාව තමයි ලෝකයේ ගව මස්වලින් 20%ක් අපනයනය කරන්නේ. හින්දු අන්තවාදියෙක් වෙලා මෝඩිවත් ඉන්දියාවේ ගව ඝාතනය තහනම් කළේ නෑ. මොකද මෝඩි දන්නවා ඒ ගොන් වැඬේ කළ ගමන් ආර්ථිකයට වදිනවා කියලා. දැන් ඔය නීති ගේන අයත් හොඳට හරක් මස් බුරියානි කෑව අය තමයි.

– ravaya.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *