විදේශ දූත මණ්ඩල නිලධාරීන් 10කට උසස් නිලතල කාරක සභා අනුමැතිය
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් 10 දෙනෙකුගේ පත්වීම් සඳහා රාජ්‍ය සේවාවන්වලට සහ රාජ්‍ය සංස්ථාවලට පත් කරනු ලබන හා නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වූ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, ඔවුන්ට එම රාජ්‍යතාන්ත්‍රික ධුරයන්හි රාජකාරි භාර ගැනීමට අවස්ථාව සැලසෙන අතර එසේ පත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ ධුරයන් පහත සඳහන් වේ.
දර්ශන එම්. පෙරේරා මහතා – මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ඩී.එම්.එස්.පී. දසනායක මහතා – ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත, දයානි මෙන්ඩිස් මෙණෙවිය- ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත, එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතා – රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති, එන්.අයි.ඩී. පරණවිතාන මෙණෙවිය – ඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත, එස්. කේ. චන්ද්‍රසිරි මහතා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති, ධම්මික ප්‍රනාන්දු මහතා – කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, අනුර විතානගේ මහතා – ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති, මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මිය – ඉරානයේ ශ්‍රී ලංකා තානාපති, එම්. ෆාරුක් එම්. ෆවුසර් මහතා – පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත්කර තිබේ.




