පොලීසියේ විනය කැඩූ 604කගේ වැඩ තහනම්; 79ක් සේවයෙන් පහ කිරීමට පියවර – ඇමැති ආනන්ද විජේපාල
පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්
විවිධ විනය විරෝධි ක්‍රියාවන් හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලයේ දී පොලිස් නිලධාරින් 604 දෙනකුගේ වැඩ තහනම් කර 79 දෙනකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා දින(03) ප්‍රකාශ කළේය.
එමෙන්ම පොලිස් නිලධාරින්ගේ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ මහජනතාවට පැමිණිලි කිරීමට 118, 197 වැනි දුරකතන අංක මෙන්ම වෙබ් අඩවි සහ විශේෂ විමර්ශන ඒකක 11ක්ද ස්ථාපිත කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
පොලිස් නිලධාරින්ගේ විනය පවත්වාගෙන යාම සහ දූෂණ මර්දනය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර පොලිස් නිලධාරින්ගේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත සෘජුව දැනුම් දීමේ හැකියාවද ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.
එමෙන්ම දැනට දිවයින පුරා පොලිස් ස්ථාන 608ක් ක්‍රියාත්මක වන අතර, මුළු පොලිස් නිලධාරින් සංඛ්‍යාව 79,782ක් බවද අමාත්‍යවරයා පැවැසීය. සාමාන්‍ය සේවයේ නිලධාරින් 71,424ක්, විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරින් 7,256ක් සහ සහායක සේවයේ නිලධාරින් මීට ඇතුළත් බවද පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවැසීය.
නව බඳවා ගැනීම් සහ පුරප්පාඩු පිරවීම පොලිස් සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, මේ වන විට නිලධාරින් 17,000ක් පමණ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බවද හෙතෙම අනාවරණය කළේය. මේ යටතේ උප පොලිස් පරීක්ෂකවරුන් 325ක් සහ කොස්තාපල්වරුන් 6,530ක් ඇතුළු පිරිසක් බඳවා ගැනීමට නියමිතය. මීට අමතරව, පිරිස් බලය ශක්තිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති අතර, ඔවුන්ට නවාතැන් සහ ආහාර දීමනා ලෙස රුපියල් 25,200ක අමතර දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අපරාධ මර්දන මෙහෙයුම් සහ පසුගිය කාලසීමාව තුළ සිදුකළ මෙහෙයුම් මගින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ අනුව වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 22ක්, පැදිකරුවන් 14ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 57ක් ඇතුළු සැකකරුවන් 315 දෙනකු 2024 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම 2025 වසරේ දී සැකකරුවන් 408 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
නිලධාරී සුබසාධනය සහ නේවාසික පහසුකම් ස්ථානමාරු ලබන නිලධාරින් මුහුණ දෙන නේවාසික ගැටලු විසඳීම සඳහා රුපියල් මිලියන 4,100ක වියදමින් නිවාස 352කින් සමන්විත නිවාස සංකීර්ණයක් නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවසූ අතර පොලිස් බැරැක්කවල පහසුකම් වැඩි කිරීමටද පියවර ගෙන ඇති බවද අනාවරණය කළේය.
පොලිස් සේවය සඳහා 9175 ක් බඳවා ගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. සම්මුඛ පරික්ෂණ යම් ප්‍රමාණයක් අවසන් කර තිබෙනවා. 2024-01-01 සිට අත්අඩංගුවට ගැනීම් වෙඩිතැබීම් වෙනුවෙන් වෙඩික්කරුවන් 22ක්, පැදිකරුවන් 14ක් තියුණු ආයුධවලින් පහරදීම් සහ වෙනත් හේතු මත 50 ක්ද, සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 57ක් ඇතුළු සැකකරුවන් 315 දෙනකු එක් අදියරක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම 2025-01-01 සිට 2025-05-31 දක්වා සැකකරුවන් 34ක් අරන් තිබෙනවා. වෙඩික්කරුවන් 34ක්, පැදිකරුවන් 30, තියුණු ආයුධවලින් පහරදීම් 30ක් ආධාර අනුබල ලබාදීම් 174ක්, මත්ද්‍රව්‍ය ජාවාරම් 80ක්, ගිනිඅවි ළඟ තබාගැනීම් 83ක් ආදි වශයෙන් 408ක් අරන් තිබෙනවා.
පොලිස් නිලධාරින් අක්රමිකතාවලට පෙළඹීම සම්බන්ධයෙන් සොයා බලනවා. ඒ වගේම එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් නිලධාරින්ගේ වැටුප් වැඩිකිරීම, දක්ෂ ලෙස විමර්ශනවල නිරත වන අයට ත්‍යාග ලබාදීම, පොලිස්පති අරමුදලින් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීම, දූෂණ අක්රමිකතාවල නිරතවීමේ ආදිනව ගැන දැනුවත් කිරීම ආදියත් සිදු කරනවා. අක්රමිකතාවලට පෙළඹෙන නිලධාරින් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පියවරයන් අරන් තිබෙනවා. ඍජුව පැමිණිලි ඉදිරිපත් කිරීම මෙන්ම දුරකතන මඟින් දැනුම්දීමේ හැකියාව, පොලිස්පතිවරයාට සෘජුව පැමිණිලි ලබාදිය හැකි වාතාවරණය ඇති කිරීම ආදියත් සිදුකර තිබෙනවා යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.




