වෙනිසියුලාව වෙත ප්‍රහාර මාලාවකින් පසු අමෙරිකානු හමුදා භාරයට ගත් වෙනිසියුලා ජනාධිපතිට අධි චෝදනා
වෙනිසියුලාව වෙත ප්‍රහාර මාලාවකින් පසු අමෙරිකානු හමුදා භාරයට ගත් වෙනිසියුලා ජනාධිපතිට අධි චෝදනා
වෙනිසියුලාවේ කරාකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් BBCය තහවුරු කර තිබෙනවා.
එරට වේලාවෙන් ඊයේ (03) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා. ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක් බව සඳහන් වනවා. ඒ හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට අඩාල වී තිබෙනවා.
පිපිරීම්වලින් අනතුරුව නගරයට ඉහළින් ගුවන් යානා පියාසර කරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇමරිකානු හමුදා භාරයට ගත් වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමරිකානු නීතිපති පැම් බොන්ඩි (Pam Bondi) නිල වශයෙන් නිවේදනය කරනවා.
ඇමරිකානු නීතිපතිවරියට අනුව මදුරෝ යුවළට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල චෝදනා රැසක් යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දීම, ඇමරිකාව තුළට විශාල වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට කුමන්ත්‍රණය කිරීම, මාරක අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ඇමරිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා ළඟ තබා ගැනීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම වැනි චෝදනා ඊට අයත් බව විදෙස් මාධ්‍ය පවසනවා.
වෙනිසියුලානු වේලාවෙන් ඊයේ (03) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එරට ස්ථාන කිහිපයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව ප්‍රහාරය සම්බන්ධව පළමුව වාර්තා වූවා.
කෙසේනමුත් මෙය ප්‍රහාරයක් බවත් ඒ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝග ලැබුණු බවත් පසුව වාර්තා වුණා.
ප්‍රහාරයත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි එරට ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් පියවර ගනු ලැබුවා.
විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර තිබුණේ ප්‍රහාරයෙන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා අමෙරිකානු අත්අඩංගුවට පත්වූ බවයි.
විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බළකාය විසින් මදුරෝ අල්ලා ගත් බවය.
පසුව මෙම පුවත සනාථ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල් කර ඇති බව සඳහන් කළා.
ප්‍රහාරයෙන් නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති අතර ඇතැම් වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත්තේ අමෙරිකානු ගුවන්යානා විසින් වෙනිසියුලාවේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර දියත් කරන බවයි.






