හිරු නාලිකාවට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයෙන් නිවේදනයක්

0
හිරු නාලිකාවට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයෙන් නිවේදනයක්

හිරු නාලිකාවට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයෙන් නිවේදනයක්

හිරු නාලිකාවට එරෙහිව පොලිසිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා ගනු ලබන මෑතකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් තරිඳු උඩුවරගෙදර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ලිපියෙහි සඳහන්වන්නේ, මාධ්‍යයක අන්තර්ගතය පිළිබඳ තීරණ ගැනීමේ බලය පොලිසිය අතට පත්වීම මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ අභියෝගයක් බවයි.

යම් වාර්තාකරණයක් නිවැරදිද නැද්ද යන්න තීරණය කිරීමට පොලිසිය මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තර්ජනයක් බව එම සම්මේලනය පෙන්වා දේ.

රජය තමන්ට රුචි නොවන මාධ්‍ය මර්දනය කිරීමට නියාමන ආයතන මෙවලමක් ලෙස භාවිත කිරීම භයානක ප්‍රවණතාවයක් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කලේය.

මහජන දේපළක් වන සංඛ්‍යාත අවභාවිතය පිළිබඳ පියවර ගැනීම රජයේ වගකීමක් වුවද, එය පොලිස් බලය යොදාගෙන මාධ්‍ය ආයතන බිය ගැන්වීමක් හෝ මර්දනය කිරීමක් නොවිය යුතු බව එම සම්මේලනය නිකුත් කළ ලිපියෙහි සඳහන්.

එමෙන්ම හිරු නාලිකාවේ වාර්තාකරණය පිළිබඳව සමාජය තුළ පවතින විවේචනාත්මක අදහස් පිළිබඳව අවබෝධයෙන් පසුවන බව පෙන්වාදුන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ලේකම් සඳහන් කර ඇත්තේ, ආචාරධර්මීය මාධ්‍ය භාවිතය වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බවයි.

එමෙන්ම දේශපාලන හෝ රාජ්‍ය මැදිහත්වීම්වලින් තොරව මාධ්‍ය වෘත්තිකයන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත ස්වාධීන මාධ්‍ය නියාමන සභාවක්වහාම පිහිටුවිය යුතු බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.

තවද මාධ්‍ය ආචාරධර්ම කඩවීම් සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කළ හැකි විනිවිදභාවයකින් යුත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් මාධ්‍ය ආයතනවල වගවීම තහවුරු කෙරෙන ස්වාධීන ස්වයං-නියාමන පද්ධතියක්නීතිගත කල යුතු බවත් එම සම්මේලනය අවධාරණය කළා.

මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල කරන සියලු ආකාරයේ පොලිස් බලපෑම් වහාම නතර කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි‍යා.

එමෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු සියලු වෘත්තිකයන්ව පීඩාවට පත් කරන අසාධාරණ කම්කරු නීති, කම්කරු ප්‍රතිපත්ති පවතින පසුබිමක මාධ්‍ය ආයතනවල මාධ්‍ය ස්වාධීනත්වය සහ ආචාරධර්ම කඩකරමින් මාධ්‍යවේදීන් යොදවා ආචාරධර්ම විරෝධී භාවිතාවන්හි නිරත වීම අසීරු නොවන බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කළා.

කෙසේවෙතත් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කළ යුත්තේ තුවක්කුවේ බලයෙන් හෝ පොලිස් සිතාසි මගින් නොව ස්වාධීන ආයතනයක් මගින් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com