බිඳ වැටුණු ජල සම්පාදන ක්‍රම 146ක් යථා තත්ත්වයට – අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ
තට්ටු නිවාසවල උඩ මහල්වලට ජලය අහිමි වීමේ අවදානමක්
අක්‍රිය වූ ජල සම්පාදන ක්‍රම 156 අතරින් ජල සම්පාදන ක්‍රම 146ක් යථා තත්ත්වයට පත්කර තිබෙන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ඉතිරි ජල සම්පාදන ක්‍රම 10 යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.
දිවයින පුරා ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම 342 අතරින් සෑම දිස්ත්‍රික්කයකටම බලපාමින් අක්‍රිය වූ ජල සම්පාදන ක්‍රම 156 අතරින් ජල සම්පාදන ක්‍රම 17ක් කාලගුණික තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
එමෙන්ම ඉතා අසීරු ලෙස ගොඩනංවිය යුතු වූ මෙම සංකීර්ණ ජල සම්පාදන ක්‍රම දින කිහිපයක් තුළ යථා තත්ත්වයට පත්කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ආරක්ෂක හමුදා, මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය දැක්වු සහායද මෙහිදී ඒ මහතා අගය කළා.
වැඩිම හානියක් වූ මධ්‍යම පළාත ඇතුළු දිවයින පුරා ජල සම්පාදන ක්‍රමයන්හි හානිය රුපියල් බිලියන පහක් ඉක්මවනු ඇති බවට අනුමාන කරන බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ සතියක් තුළ සියලු ජල සම්පාදන ක්‍රම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.




