රජයේ ආයතන රැසක ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන පුළුල් විමර්ශනයක්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව
පොලීසිය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ ආයතනවල කටයුතු කරන නිලධාරීන්ගෙන් කොටසක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සම්බන්ධතා පැවති බවට අනාවරණය වී ඇති අතර, යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් ඇතැමුන් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ කණ්ඩායම් සමඟ ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට ලැබී ඇති පැමිණිලි ප්‍රකාරව ඔවුන් පිළිබඳ දැනටමත් අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර ඇතැයි ද කොමිසම කියා සිටියේය.
අල්ලස් කොමිසමට මේ ආයතනවල ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි හේතුවෙන් මේ විමර්ශන කඩිනමින් සිදු කිරීමට කොමිසම අවධානය යොමු කර ඇතැයි එහි ඉහළ නිලධාරියෙක් පැවැසීය. වාර්ෂිකව රජයේ නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන විමර්ශන කටයුතු සිදු කිරීම සිදු කළද ඊට පරිබාහිරව දූෂණය නමැති වරද සිදුව තිබේද යන්න මින් සොයා බැලීම් කරන බව කොමිසම පැවසීය.
මේ විමර්ශනයේ මූලික අදියරේදී පොලීසිය, ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් ලිපිගොනු අධීක්ෂණය කිරීමටත්, ඉන්පසු පහළ නිලධාරීන් දක්වා එය ව්‍යාප්ත කිරීමටත් කොමිසම සූදානම් වේ.
අනතුරුව මෙරට ආදායම් උපදවන සහ මහජනතාව සමඟ සම්බන්ධ තවත් ආයතන ගණනාවක් මේ සඳහා අධීක්ෂණය කරනු ඇති අතර, එම කටයුතු සිදු කිරීමට කොන්ත්‍රාත් පදනම මත කාර්ය මණ්ඩල බඳවා ගැනීමටද පියවර ගන්නා බව කොමිසමේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
– දිනමිණ






