ලක්මාලිට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ලියුමක්

ලක්මාලිට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ලියුමක්
ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් ප්‍රසිද්ධියේ අධිකරණ තීන්දුවක් විවේචනය කර රාජ්‍ය නිලධාරීන්ට එය නොසලකා හරින ලෙස උපදෙස් දීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් භාර දී තිබෙනවා.
මෙම ලිපිය භාර දීම සඳහා නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, ආසන ක්‍රියාකාරී ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් රණතුංග යන අය එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ, පසුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.
තවද ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කර නැති බවත්, එහිදී සිදුකර ඇත්තේ පරිපාලනමය සාකච්ඡාවක් පමණක් බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසු නමුත් දඬුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය මහතා විසින්ද සිදුකර ඇත්තේ අධිකරණ තීන්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක නොකර සිටිම බව නාලක බණ්ඩාර මහතා අවධාරණය කළා.
ඔහු පවසා සිටියේ මාලිමා ආණ්ඩුව විසින් එය පරිපාලනමය කටයුත්තක් බව පවසමින් එම ප්‍රකාශය සාධාරණීයකරණය කිරිමට උත්සහ දරමින් සිටින බවයි.
තවදුරටත් ඔහු චෝදනා කළේ, ලක්මාලි මන්ත්‍රීතුමියගේ ක්‍රියාවෙන් මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා සාමාජිකයින්ට නොවන විපක්ෂයේ සාමාජිකයින්ට පමණක්ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවයි.