රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහි විල්පත්තු නඩුවට අධිකරණයෙන් තීන්දුවක්

0
රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහි විල්පත්තු නඩුවට අධිකරණයෙන් තීන්දුවක්

රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහි විල්පත්තු නඩුවට අධිකරණයෙන් තීන්දුවක්

විල්පත්තු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කර එම ප්‍රදේශයන්හි අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කරවීම නීති විරෝධී බව පවසමින් එවැනි නීති විරෝධී නැවත පදිංචි කිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (16) නියෝග කරනු ලැබුවා.

විල්පත්තු වනාන්තර කලාපය රක්ෂිත වනාන්තරයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබියදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ එම රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ රිෂාඩ් බදියුදීන් විසින් රක්ෂිත වනාන්තර කලාප එළි පෙහෙළි කර අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු සහ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් එම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම විසින් පෙන්වා දෙනු ලැබ තිබුණේ, මෙම අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීමට කටයුතු කළ ප්‍රදේශ මීට පෙර ජනාවාස වශයෙන් පැවති ප්‍රදේශ යැයි වග උත්තරකාර රිෂාන් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළත් එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන බවයි.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ නඩුව ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබුවා.

එහෙත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෙජාස් හිස්බුල්ලා එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කරමින් සඳහන් කර සිටියේ, පෙත්සමේ කරුණු තහවුරු කිරීමට පෙත්සම්කාර පාර්ශවය දිනෙන් දින කල් ගනිමින් සිටින බව හා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමකින් තොරව එය කල් දැමීමට කරනු ලබන ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බවයි.

ඉන් අනතුරුව එම විරෝධතාව පිළිගනු ලැබූ අභියාචනාධිකරණය එකී පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරනු ලැබුවා.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර ඇතැයි පැවසෙන මෙම “අනවසර ජනාවාස” ඉවත් කොට, එම ඉඩම් යළි රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මෙකී පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය 2018 වසරේ පෙබරවාරි මාසයේ දී අවසර ලබා දුන් අතර, අදාළ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන පාර්ශව කිහිපයක් නම් කර තිබූ අතර, ඊයේ දිනයේ රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් නීතිඥ හෙජාස් හිස්බුල්ලා, බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ රුවන්ත කුරේ මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ‍මනෝහර ජයසිංහ පෙනී සිටිනු ලැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com