ගතවූ මාස 9ට ගිනි අවි 2,089ක්, සැකකරුවෝ 425ක් පොලිස් අත්අඩංගුවට

0
ගතවූ මාස 9ට ගිනි අවි 2,089ක්, සැකකරුවෝ 425ක් පොලිස් අත්අඩංගුවට

ගතවූ මාස 9ට ගිනි අවි 2,089ක්, සැකකරුවෝ 425ක් පොලිස් අත්අඩංගුවට

වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිට පසුගිය ජූලි 31 වැනිදා දක්වා කාලය තුළ පොලීසිය කළ මෙහෙයුම්වලින් ගිනි අවි 2089ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

ටී-56 ගිනි අවි 18ක්, පිස්තෝල 49ක්, රිවෝල්වර් 44ක්, AK47 ගිනි අවි 01ක්, බඳින හෝ බෙහෙත් කොටන තුවක්කු 1733ක්, බෝර 12 තුවක්කු 189ක්, ගල්කටස් 43ක්, රිපීටර් 07ක්, වෙනත් අවි 05ක් ඒ අතර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ඒ අතුරින් ගිනි අවි 27ක් මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ටී-56 ගිනි අවි 10ක්, පිස්තෝල 05ක්, රිවෝල්වර් 01ක්, බඳින තුවක්කු සහ බෙහෙත් කොටන තුවක්කු 05ක්, බෝර 12 තුවක්කු 03ක් සහ වෙනත් අවි 03ක් ඒ අතර වන බව ද පැවසු අමාත්‍යවරයා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි 33ක්ද අත්අඩංගුවට ගත් බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ, ටී-56 ගිනි අවි 02ක්, පිස්තෝල 07ක්, රිවෝලර් 02ක්, බඳින තුවක්කු 10ක්, බෝර 12 තුවක්කු 07ක්, ගල්කටස් 01ක් සහ වෙනත් අවි 04ක් වශයෙනි.

සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බෝර 12 වර්ගයේ ගිනි අවි 03ක් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සිදුවූ ගිනි අවි යොදා ගනිමින් සිදු කළ මනුෂ්‍ය ඝාතන, ගිනි අවි භාවිත කරමින් ඝාතනය කිරීම්වලට උත්සාහ කිරීම්, ගිනි අවි භාවිත කරමින් සතුන් ඝාතනය කිරීම් ආදිය වෙනුවෙන් පුද්ගලයන් 425ක් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

ගිනි අවි යොදා ගනිමින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් 241ක්ද ගිනි අවි භාවිත කරමින් ඝාතනයට තැත් කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධව 180ක්ද ගිනි අවි යොදා ගනිමින් තහනම් සතුන් ඝාතනය කිරීම සම්බන්ධව 04 දෙනකු ඇතුළුව පුද්ගලයන් 425ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඉහත වැරදි සම්බන්ධයෙන් ගිනි අවි 63ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත නවරත්න මහතා ඊයේ දින (05) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේ ද පැවසීය.

“මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා පොලීසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය වර්තමාන රජය බලයට පැමිණීමෙන් පසු එම ආයතන මඟින් සිදු කරන ලද විමර්ශන මෙසේයි.

ශ්‍රී ලංකා පොලීසිය 128යි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 149යි, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විමර්ශන සිදු කර නොමැත. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය විමර්ශන කර නොමැත. ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විමර්ශන කර නොමැත.

එම විමර්ශන සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා පොලීසිය ගිනි අවි යොදා ගනිමින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන්, ගිනි අවි භාවිත කරමින් ඝාතනයට තැත් කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධව, ගිනි අවි යොදා ගනිමින් තහනම් සතුන් ඝාතනය කිරීම සම්බන්ධව. ආගමන විගමන දෙපාර්තමේන්තුව වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සම්බන්ධව. ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු, කූට ලේඛන ඉදිරිපත් කර ඇති පුද්ගලයන් සම්බන්ධව.

එම විමර්ශන අනුව පොලීසිය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව 241යි. මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා තුවාල කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 180යි. ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 4යි. එකතුව 425යි. ආගමන විගමන දෙපාර්තමේන්තුව වියට්නාම් ජාතිකයන් 23ක්, පාකිස්තාන 02ක්, බංග්ලාදේශ 106ක්, ඉන්දියන් 56ක්, චීන 04ක්, තායි 06ක්, පිලිපීන් 02ක්, බුරින්ඩි 02ක්, ඉතියෝපියානු 01ක්, කෙන්යානු 02ක්, උගන්ඩා 01ක්, නේපාල් 01ක්, රුසියානු 03ක්, නෙදර්ලන්ත 01ක්, යේමන් 02ක්, ඊශ්‍රායල 04ක්, ඔස්ට්‍රේලියානු 01ක්, ඉතාලි 01ක්, සුඩාන 01ක් ඇතුළුව 219යි.

එම විමර්ශන අනුව ශ්‍රී ලංකා පොලීසිය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පවරා ඇති නඩු සංඛ්‍යාව 03යි. මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීම් සහ තුවල සම්බන්ධයෙන් පවරා ඇති නඩු සංඛ්‍යාව 03යි. එකතුව 06යි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නඩු පැවරීම් සිදු කර නැත. 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ සඳහන් පරිපාලන විධාන අනුව රටින් පිටුවහල් කිරීම සිදු කරයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com