119 ක්ෂණික දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක්

0
119 ක්ෂණික දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක්

119 ක්ෂණික දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක්

හදිසි ඇමතුම් අංකය වන 119 අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවයි.

වර්ථමානය වනවිට මෙම මධ්‍යස්ථානය වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද ලැබෙන බව පොලීසිය පැවසුවා.

එමෙන්ම වෙනත් සේවාවන් මඟින් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකියාව පැවතියද (පාරිභෝගික සේවා සම්බන්ධ පැමිණිලි, අල්ලස් සම්බන්ධ පැමිණිලි, රාජ්‍ය ආයතන මඟින් සිදුවන අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉඩම් ආරවුල්, මුදල් ආරවුල් වැනි පොලිසියේ සහාය ක්ෂණිකව අවශ්‍ය නොවන අවස්ථා සම්බන්ධයෙන් වන පැමිණිලි) ඇතැම් පැමිණිලි මෙම හදිසි ඇමතුම් අංකය හරහා බොහෝ විට ඉදිරිපත් කිරීමට මහජනතාව විසින් කටයුතු කරනු ලබන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන බවද පොලීසිය පෙන්වා දෙයි.

මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරීම තුළින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියේ සහාය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශය වන හදිසි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඇමතුමේ වැඩි කාලයක් රැඳී සිටීමට සිදු වේ

මෙසේ අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති අතර මෙම සේවාව අවභාවිතා කර ඇති අවස්ථාවන්හි ඊට අදාළ දුරකතන අංකය මඟින් 119 ක්ෂණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන දුරකතන ඇමතුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනු ඇත.

එබැවින් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවය ලබාගැනීමට මෙම සේවාව භාවිතා කිරීමේදී නිසි අවබෝධයෙන් යුතුව, පොලිසියේ සහය ක්ෂණිකව ලබාගත යුතු අවස්ථා හඳුනාගනිමින් කටයුතු කරන ලෙසටත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මහජනතාවට මුහුණ දීමට සිදුවන යම් ආපදාවක් හෝ පොලිස් නිලධාරීන්ගේ සහාය ක්ෂණිකව ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ඒ සඳහා පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 119 ක්ෂණික දුරකතන ඇමතුම් සේවාව 2004 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com