හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

0
හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා එම චෝදනාවට කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දඬුවම් නියම කිරීම පිළිබඳ තීන්දුව ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බවට නිවේදනය කර ඇත.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවටයි හර්ෂ ඉලුක්පිටිය මහතාට චෝදනා එල්ල වී ඇත්තේ.

ඊට වරද පිළිගත් ඔහු “නිවැරදිකරු” බව සඳහන් කරමින් ඉදිරිපත් කළ විත්තිවාචකය ඉවත් කරගන්නා බව දැනුම් දී තිබේ.

ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලී චම්පික රණවක, එම්.ඒ සුමන්දිරන් සහ රවුෆ් හකීම් යන අය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.

ඒවා විභාගයට ගැනීමට අවසර දෙමින් එම අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.

ඉන් අනතුරුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයට සිදු කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට තවත් අතුරු නියෝගයක්ද නිකුත් කර තිබුනි.

එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

මෙම නඩුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (01) කැඳවනු ලැබිය.

එහිදි ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිකු වන තම සේවාදායකයා මාස නවයකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින බවයි.

ඒ අනුව වරද පිළිගෙන ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් ඊට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

අනතුරුව ඉලුක්පිටිය මහතා සිය ප්‍රකාශය සිදු කරමින් පැවසුවේ මෙම චෝදනාවලට නිවැරදිකරු බවට තමන් කලින් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි.

අදාළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසු බවත් ඒ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක් අධිකරණය විසින් කරගන්නා ලෙස උපදෙස් ලැබුණ බවත් ඔහු පැවසුවා.

එම පැහැදිලි කිරීම ලැබෙන තෙක් අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවක අමාත්‍යාංශ ලේකම්වරයා කළ දැනුම්දීම අනුව කටයුතු කළ බවත් ඒ වන විටත් තමන් පූර්ව විශ්‍රාම යාමට මෙන්ම වෙනත් ආයතනයකට ස්ථාන මාරුවක් ද ඉල්ලා තිබු බවත් ඔහු පැවසුවා.

මෙම කරුණට අදාළව විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයෙන්ද අදහස් විමසා සිටියා.

එහිදී නීතිඥ රවුෆ් හකීම් මහතා කියා සිටියේ මෙම ක්‍රියාව වග උත්තරකරුගේ අවශ්‍යතාව මත සිදුවූවක් නොවන බවත් අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවු බවයි.

දඬුවම් නියම කිරීමේදී එයද සැලකිල්ලට ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක පටන් ක්‍රියාත්මක ජාවාරමක් පවතින බවයි.

මොබිටෙල් ආයතනය මගින් ඩොලරයකට ලබාගත හැකිව තිබූ අයිතමයක් ඩොලර් 25කට ලබා ගැනීම නිසා රටට රුපියල් බිලියන 3.71ක් අලාභයක් සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු කමිටුවක් විසින් විගණකාධිපතිවරයාට දැනුම්ද තිබෙන බවත් ඔහු පැවසුවා.

මෙම විද්‍යුත් වීසා ගණුදෙනුව නිසා සිදුවී ඇති අලාභය කෝටි 331ක් බව මීට පෙර ගණන් බලා තිබුණද අදාල අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා එය තවත් වැඩි වී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

එම වකවානුවේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඇමෙරිකා ඩොලර් 24න් වැඩි කිරීම තුළින් අදාළ පාඩුව ගණනය කළ හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසුවේ තම සේවාදායකයා කිසිදු චෝදනාවකට වරදකරුවී නොමැති බවයි.

ඔහු වැරදි කාලයේ වැරදි තනතුරක කටයුතු කිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වූ බවත් ඔහු මේ වන විට වරද පිළිගෙන ඇති නිසා ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ල මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කලේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com