හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ පස් දරු පියෙකුට වසර 17ක සිරදඬුවම්

0
හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ පස් දරු පියෙකුට වසර 17ක සිරදඬුවම්

හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ පස් දරු පියෙකුට වසර 17ක සිරදඬුවම්

හත් හැවිරිදි බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17ක සිරදඬුවම් නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළේය.

ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළේය.

එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව තවත් වසරක සිරදඬුවම් නියම කරන බව තීන්දුවේ සඳහන් වුණි.

2015 වසරේ ජූලි මස තුන්වනදා හත් හැවිරිදි බාලවයස්කාර ගැහැණු ළමයකු බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ වයස අවුරුදු 53ක්ව සිටි මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ, මෙම විත්තිකරු වින්දිත දැරියගේ නිවසට නිතර යන එන පුද්ගලයකු වන අතර අපරාධය වූ දින දැරියගේ මව ගර්භණී තත්ත්වයෙන් පසු වීම නිසා ඇය සමග දැරියගේ පියා ද රෝහලට ගොස් ඇති බවය.

එම නිසා පාසල් ගිය එම දැරියව යළි නිවසට රැගෙන ඒමට පියාට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසා හොඳින් හඳුනන මෙම විත්තිකරුට පාසලෙන් දරුවා රැගෙන එන ලෙස දෙමව්පියන් විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථයෙන් පාසලට ගිය මෙම විත්තිකරු එම දරුවාද නංවාගෙන තමාගේ නිවසේ කුඩා දරුවන් සිටින බවත් එහි ගොස් සෙල්ලම් කළ හැකි බවත් පවසා වින්දිත දැරිය රවටාගෙන සිය නිවසට රැගෙන ගොස් තිබේ.

දැරිය එම නිවසට ගිය අවස්ථාවේ එහි කුඩා ළමුන් නොසිටි අතර එහිදී විත්තිකරු විසින් වින්දිත දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර නැවත ඇයගේ නිවසට ගොස් හැරලවා තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉන්පසුව නිවසේදී වින්දිත දැරිය ගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී විත්තිකරු තමන්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව එම දැරිය විසින් ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉන් පසුව ඇයගේ මව දෙමටගොඩ පොලීසියට ගිය අතර එතැනින් ඇයව ග්‍රෑන්ඩ්පාස් පොලීසියට යොමු කර ඇති බවත් එහි පැමිණිලි ඉදිරිපත් කළ බවත් සඳහන් කළ විනිසුරුවරයා ළමා ආරක්ෂක අධිකාරියද මෙම දැරියගෙන් වීඩියෝ සාක්ෂි සටහන් කරගෙන තිබූ බවත් පැවසීය.

ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත් ඒ අනුව ඔහු අදාළ චෝදනා දෙකට වරදකරු කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර රජයේ නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් මෙම විත්තිකරු පස් දරු පියකු වන අතර ඔහුගේ දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් බවත් සඳහන් කළේය.

එවැනි ගැහැණු දරුවන් සිටින පියෙකු මේ ආකාරයේ බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු 62වන වියේ පසුවන අතර ඔහු වසර හතක් පමණ ක්ෂය රෝගය හා වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබන බව සඳහන් කළේය.

ඔහු පස් දරු පියකු වන අතර ඔහුගේ බාලම දියණිය 14වන වියේ පසුවන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අතවරයට පත් දැරියගේ මව අධිකරණයේ කරුණු දක්වමින් තම දියණියට සිදුවූ අපරාධය වැනි දෙයක් තවත් දරුවෙකුට සිදුනොවන ආකාරයේ දැඩි දඬුවමක් මෙම විත්තිකරුට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම විත්තිකරු විසින් සිදුකර තිබෙන වරදේ ස්වභාවය පිරික්සීමේදී ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

ගැහැණු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වශයෙන් විත්තිකරුට ගැහැණු දරුවන්ගේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු බවත් එසේ තිබියදී හත් හැවිරිදි කුඩා දරුවකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම බරපතළ ක්‍රියාවක් බවත් විසුරුවරයා පෙන්වා දුන්නේය.

කාන්තාවන් හා ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට සමාජය තුළ දැඩි හඬක් මතුවී තිබෙන මෙම වකවානුවේ මෙවැනි සිද්ධීන් පිළිබඳව මුළු සමාජයම බලා සිටින බව සඳහන් කළ විනිසුරුවරයා අනුව ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com