මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර තෝරා පත් කර ගෙන තිබෙනවා.
මෙම පත්වීම සිදු වූයේ අද (15) පැවති එම සම්මේලනයේ 10 වැනි නියෝජිත සමුළුවේදීයි.
මෙම අවස්ථාවෙන්, දීර්ඝ කාලයක් මාධ්‍ය නිදහස වෙනුවෙන් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ ධර්මසිරි ලංකාපේළි මහතා එම ධුරයෙන් සමු ගත් අතර, 2025-27 කාලය සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමට එහිදී කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව එම සම්මේලනය විසින් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පත් කරනු ලැබුවා.
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සාමාජික සංවිධානයක් වන අතර මෙරට මාධ්‍ය සේවකයන් සාමාජිකත්වය දරණ විශාලම වෘත්තිය සමිති සම්මේලනය වනවා.
එම සම්මේලනයේ සභාපතිවරිය ලෙස ඉන්දිරා නවගමුව තේරී පත් වූ අතර, උප සභාපති ධුරය සඳහා සෙල්වකුමාර් සහ ගෞරි ශ්‍රී බ්‍රන්දන් තේරී පත්වුණා.
උප ලේකම් තනතුරු සඳහා ක්‍රිෂ්නි ඉෆ්‍රම් තේරී පත් වූ අතර සහකාර ලේකම්වරිය ලෙස ෂරීෆා තාහීර් තෝරා පත් කරගනු ලැබුවා.
භාණ්ඩාගාරික ලෙස නැවත තේරී පත් වුණේ, රිස්වන් සේගු මොහිදීන්.
ජාතික සංවිධායක ලෙස අනුරාධ ප්‍රියදර්ශන තේරී පත් වූ අතර නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස ප්‍රදීප් සේනාධීර පත් වුණා.
එහ්දී සමුගැනීමේ අදහස් දක්වමින් ධර්මසිරි ලංකාපේළි මහතා කියා සිටියේ, තමන් මාධ්‍ය සංවිධාන කටයුතුවලින් ඉවත් නොවන බවත් ඉදිරියේදීත් ශක්තිමත්ව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.
මාධ්‍ය කර්මාන්තයේ උන්නතිය පවතින්නේ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මත බව ඔහු එහිදී සඳහන් කළා.
ධර්මසිරි ලංකාපේළි මහතා මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ගොඩනැගීමේදී පුරෝගාමියා වූ අතර ලේක්හවුස් ආයතනයේ ප්‍රබල වෘත්තිය සමිති නායකයෙකු ලෙස වෘත්තිය සටන් රැසකට නායකත්වය ලබා දුන්නා.
ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ, අයිතිවාසිකම් ඉල්ලා කළ සටන්වලදී මෙන්ම දැඩි මර්දනය හමුවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඓතිහාසික කාර්යභාරයක් කළ නායකයෙකු ද වනවා.
ධර්මසිරි ලංකාපේළි, ඩග්ලස් නානායක්කාර, බන්දු තඹවිට, ලක්මාල් බදුගේ, සුභාෂිනී ද සිල්වා, ප්‍රසංග පෙරේරා, යූඒඅයි වීරවර්ධන, ඉන්දික ගරුසිංහ, සිවකුමාර් තිව්‍යා, ජෝසෆ් නයන්, රෝහණ කුමාර දිසානායක, පුන්‍යමූර්ති සසිකරන්, සමන් දිසානායක, නිමල් ජයරත්න, සුභභාෂණ ගමගේ, සුභාෂිනී ටානියා ද සිල්වා එම සම්මේලනයේ කමිටු සාමාජිකයන් ලෙස තේරී පත් වුණා.
මෙම සමුළුවට සුභපැතුම් පණිවිඩ එකතු කරමින් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඇන්තනි බෙලින්ජර් සහ එම සම්මේලනයේ ආසියා-පැසිෆික් කලාප නායිකා ජේන් වර්ටින්ටන් අදහස් දැක්වූවා.