පාස්කු මහ මොළකරු ගැන “නවතම” සොයා ගැනීම සහ රනිල්ගේ ස්කොට්ලන්ඩ්යාඩ් පොරොන්දුව – සරෝජ් පතිරණගේ හෙළිදරව්ව

පාස්කු මහ මොළකරු ගැන “නවතම” සොයා ගැනීම සහ රනිල්ගේ ස්කොට්ලන්ඩ්යාඩ් පොරොන්දුව – සරෝජ් පතිරණගේ හෙළිදරව්ව
ජනාධිපති අනුර කියන විදියට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන පොලිසිය ළඟදීම ප්‍රබල අනාවරණයක් කරන්න නියමිතයි.
ඒ අතරේ පොලිසිය පිල්ලෙයානුත් අත් අඩංගුවට ගත්ත. අනුරත්, පොලිස් ඇමති ආනන්ද විජේපාලත් කියන විදියට පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධයි. මේ අතරේ පොලිස් රහස් ඔත්තු නිලධාරියෙකුත් (ඔය ‘බුද්ධි නිලධාරියා’ කියන භාවිතය වැරදි පරිවර්තනයක්. ඒ ගැන පසුවට) දැන් අත් අඩංගුවේ.
මේ අත් අඩංගුවට ගැනීම් එක්ක මහ මොළකරුවන්ගේ ඉහ මොළ රත්වෙන්න පටන් අරගෙන.
පිල්ලෙයාන්ට කතා කරන්න ඕන කියල රනිල් බලපෑම් කරනවලු. ඒ අතරේ ‘දේශයේ මහා මුර දේවතාව’ ගොම්මන්පිල, පාස්කු සංහාරය, කැබිතිගොල්ලෑව ඝාතනය, පරරාජසිංහම් ඝාතනය ඇතුළු මහා අපරාධ ගොන්නක් ගැන චෝදනා ලබපු LTTE ළමා සොල්දාදුවා වෙනුවෙන් පෙනී ඉන්න සූදානම් වෙනවලු.
ඒ අතරේ රනිල් සුරේෂ් සලේ එක්කයි, වසන්ත කරන්නාගොඩ එක්කයි හදිසි රැස්වීමකුත් තියල. Arrest කරන්න කලින් ඒ හමුවට පිල්ලෙයාන්ටත් ආරාධනා කළත් ඇවිත් තියෙන්නේ නියෝජිතයෙක්.
වෙබ් සයිට් සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එකපාරටම ‘පාස්කු මහ මොළකරුවෙක්’ පහළ වීම ඒ රහස් සාකච්ඡාවල ක්ෂණික ප්‍රතිඵලයක්.
ගවේෂණාත්මක මාධ්‍යවේදී සනත් බාලසූරිය කියන විදියට, ඉහ මොළ රත්වෙලා ඉන්න මේ කුමන්ත්‍රණකරුවන්ගේ ක්‍රියාදාමයේ බැරෑරුම්කම ආණ්ඩුව තේරුම් නොගත්තොත් ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. පාස්කු මහ මොළකරුවන් සහ ඔවුන්ගේ co-conspirators ල කොයි තරම් කලබල වෙලාද කියනවා නම් “හිටපු මානව හිමිකම් නෝනලා මහත්තුරු” වගයක් ප්‍රසිද්ධියේ සනත්ට තර්ජනය කරන්නත් පෙළඹිලා.
අවුරුදු හතරක් ඉකුත් වූ ‘නවතම වාර්තාව’
තැති ගැනුණ රනිල්ගේ කණ්ඩායම කියන විදියට මේ මහ මොළකරු සොයාගෙන තියෙන්නේ “නවතම ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවක් මගින්.” හැබැයි ඇමෙරිකානු FBI රහස් ඔත්තු සේවයේ නිලධාරිනියක් අධිකරණයට මේ “නවතම වාර්තාව” ඉදිරිපත් කරලා තියෙන්නේ 2020 නොවැම්බර් 11 වෙනිදා! (https://www.theleader.lk/…/Easter_Attack_Report_US…)
ඔවුන් කියන විදියට අවුරුදු හතරකටත් කලින් FBI නිලධාරිනිය කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයට ගොනු කළ “නවතම වාර්තාව” හෙවත් පැමිණිලිකාරියගේ දිවුරුම් පෙත්සමට අනුව, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහ්රාන් හෂීම් බව දැනට අත් අඩංගුවේ ඉන්න සැකකරුවෙක් වන මොහොමඩ් නවුෆර් සඳහන් කරලා තියෙනව.
ඔව් ඒ දිවුරුම් පෙත්සමේ එහෙම සඳහනක් තියෙනව.
නමුත් පැමිණිලිකාරියගේ දිවුරුම් පෙත්සම කියන්නේ නඩු තීන්දුවක් නෙවෙයි. සහ්රාන් හෂීම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බවක් ඇමෙරිකාවේ වත්, ලෝකේ වෙනත් රටකවත් අධිකරණයකින් හෝ විශේෂ කොමිෂන් සභාවකින් තවමත් තීන්දු කරලා නැහැ.
අනික මේ දිවුරුම් ප්‍රකාශය කොහෙත්තම අලුත් තොරතුරකුත් නෙවෙයි.
ඇමෙරිකානු එෆ්බීඅයි ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ඒජන්තවරිය අවුරුදු හතරකට කලින් ගොනු කරපු මේ දිවුරුම් පෙත්සම (පැමිණිල්ල), ලංකාවේ සමහර මාධ්‍යවලටත් සමාජ මාධ්‍යකරුවන්ටත් හදිසියේම “නවතම පුවතක්” වෙන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට පත්වීමත් එක්ක; රහස් ඔත්තු නිලධාරියෙක් arrest කිරීමත් එක්ක.
රනිල්ගේ ස්කොට්ලන්ඩ්යාඩ් පරීක්ෂණය
පාස්කු ප්‍රහාරය සිද්ද වුණේ ලංකාවේ. ඇමෙරිකාවේ නෙවෙයි.
අවුරුදු ගණනාවක් ඒ ගැන පරීක්ෂණ කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ, නඩු පැවරුවේ ලංකාවේ විමර්ශකයින්. විශේෂයෙන්ම රවි සෙනෙවිරත්නගේ උපදෙස් මත ශානි අබේසේකරගේ ප්‍රධානත්වයෙන්. ඒ විමර්ශනයට ලංකාව FBI එකෙනුත් උපකාර පැතුවා. ඒත් ඒ ගැන මෙරිල් ගුඩ්වින්ට වඩා ලංකාවේ විමර්ශකයෝ අවුරුදු ගාණක් තිස්සේ පුළුල් විමර්ශන කරලා තියෙනව.
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණ ගමන්ම – කැබිනට් එක පත්කරන්නත් කලින් – ශානි අබේසේකරට දඩුවම් මාරුවක් දීල, CID එකේ විමර්ශකයින් සිය ගාණක් මාරු කරලා ඒ විමර්ශන කඩාකප්පල් කරලා දැම්ම. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ජීවිතාරක්ෂාව ගැන බයෙන් රටින් පැනල ගියා. විමර්ශනය අධීක්ෂණය කරපු රවි සෙනෙවිරත්නට සේවා දිගුවක් නොදී විශ්‍රාම යන්න ඉඩ හැරිය.
නමුත් රනිල්වාදීන්ට අනුව මෙරිල් ආර් ගුඩ්වින් කියන FBI ඒජන්තවරිය ලංකාවේ විමර්ශකයින්ට කරගන්න බැරි වුණ දේ කරල තියෙන්නේ මීට අවුරුදු හතරකටත් කලින්!. කන්න ඕනේ වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඔය න්‍යායට. හැබැයි මෙරිල් ආර් ගුඩ්වින් අවුරුදු හතරකට කලින් 2020 දී මේ සේරම සොයාගෙන තිබුණ නම්, ඇයි රනිල් වික්‍රමසිංහ 2022 ජුලි මාසේ වැඩ බලන ජනාධිපති විදියට පත්වෙච්ච ගමන්ම – කොහොම හරි ජනාධිපති පුටුවට පැනගන්න බලාගෙන – පාස්කු ප්‍රහාරය ගැන ස්කොට්ලන්ඩ්යාඩ් ගෙන්නල පරීක්ෂණයක් කරනවා කියල ප්‍රසිද්ධියේ පොරොන්දු වුණේ? ඇයි එදා රනිල්ට එෆ්බීඅයි මෙරිල් ගේ “නවතම සොයා ගැනීම” අමතක වුණේ?
ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණ ගමන්ම ස්කොට්ලන්ඩ්යාඩ් පොරොන්දුව අමතක කළේ?
‘මහ මොළකරුවෝ මරාගෙන මැරෙන්නේ නෑ’
රවි සෙනෙවිරත්න වගේම ශානි අබේසේකරත් පාස්කු ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය ගැන පාර්ලිමේන්තු කමිටුවලටත්, ජනාධිපති පරීක්ෂණ කොමිසමටත්, අධිකරණයටත් ඇති තරම් කරුණු දක්වල තියෙනව.
සහරාන් හෂීම් කියන්නේ ප්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා වෙන්න බැරි බව, පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂා කරපු ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න අවධාරණය කළා. ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන “අසම්පූර්ණ” බවත් ඔහු පෙන්වා දුන්න.
ගෝඨාභය පාලනය ගොතපු බොරු චෝදනාවලට (https://www.bbc.com/sinhala/sri-lanka-55231320) අත් අඩංගුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරත් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්න. පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් තිබුණ කියල සැක කරන බව කොමිසම ඉදිරියේ ඔහු කියා සිටිය. “ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්,” ඔහු කිවුව.
“අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයාම. ඒක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශවයක් සහරාන්වත් මෙහෙයෙව්වාද කියන එක මටත් ප්‍රශ්නයක්,” කියලත් ශානි අබේසේකර සඳහන් කළා.
ගොතපු චෝදනාවලට ශානි හිරේ දාල, හදවත් සැත්කමකින් පස්සේ දවස් කිහිපයක් අධි සත්කාර ඒකකයේ තියන්න කියල වෛද්‍ය උපදෙස් තියෙද්දිත් සැත්කම ඉවරවුණ ගමන්ම බන්ධනාගාර රෝහලට මාරු කරපු ගෝඨාභය කණ්ඩායම එක්ක එකතුවෙලා දැන් රනිල් වාදීන් try කරන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ රවි – ශානි දෙන්න පාස්කු ප්‍රහාරය ගැන අලුතෙන් පටන් ගත්ත විමර්ශන කොහොමහරි කඩාකප්පල් කරන්න.
ඒ නිසා තමයි අත් අඩංගුවට ගනිපු පිල්ලෙයාන් සේරම වමාරයි ද කියල තැති ගැනිල ඔවුන් අවුරුදු හතරක් පරණ “නවතම පුවතක්” සොයාගෙන පිල්ලෙයාන්ගේත් කට වහන්න උත්සහයක් දරන්නේ.
ලඟදි ජනහඬ වැඩසටහනේදිත් කිවුව වගේ (https://www.youtube.com/live/aTiCJGfWpqI?si=_02nRBJjqU5WFbTv) මේ රටේ මිනිස්සු ජාතික ජන බලවේගයෙන් ඉල්ලන්නේ යුක්තිය. ගෝඨාභය ද, සලේ ද, රනිල් ද, පිල්ලෙයාන් ද කවුද කියල මිනිස්සුන්ට අදාළ නෑ. මිනිස්සු කියන්නේ වැරදි කරපු එවුන්ට දඬුවම් දෙන්න කියල. කිසිම විදියකින් යුක්තිය ඉටුවෙන හැඩක් පේන්නේ නැති නිසා තමයි මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන බව සිරිල් ගාමිණී පියතුමා එදා මා එක්ක කිවුවේත් (https://www.youtube.com/watch?v=uS3rVbL8vBY).
දැන් අවුරුදු හයකට පස්සෙවත් – ජනතාවාදී කියල ඔවුන් විශ්වාස කරන ආණ්ඩුවක් යටතේවත් – ම්ලේච්ඡ පාස්කු ඝාතනය මෙහෙයවපු මිනී මරුවන්ටත් දඬුවමක් ලැබේවිද කියල පාස්කු වින්දිතයින් විතරක් නෙවෙයි මනුස්සකම අගයන සියලු රටවැසියනුත් බලාගෙන ඉන්නවා.
– සරෝජ් පතිරණ
2025 අප්‍රේල් 14 ලියා පළකළ ලිපියකි
(what News)