වනඅලි හා දුම්රිය අනතුරු ගැන පරිසර යුක්ති කේන්ද්‍රයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වනඅලි දුම්රියේ ගැටී සිදුවන අනතුරු ගැන පරිසර යුක්ති කේන්ද්‍රයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
වනඅලි දුම්රියේ ගැටී අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වනඅලින් දුම්රියවල ගැටීමේ සිදුවීම් මේ වනවිට වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙන බවය.
2011 වසරේ දිවයින පුරා සිදු කරන ලද වන අලි සංගණනයකදී මෙරට වන අලි සංඛ්‍යාව 5879ක්ව පැවති අතර මෑතකදී සිදු කරන ලද සංගණනයේදී එම සංඛ්‍යාව 3130ක් දක්වා පහත වැටී තිබෙන බවත් පෙත්සමේ පෙන්වාදී තිබේ.
පසුගිය වසර 13 තුළ දුම්රියවල ගැටීම හේතුවෙන් අඩුම වශයෙන් අලි ඇතුන් 151ක් දෙනෙකු මියගොස් ඇති බවට නිල වාර්තාවලින් තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.
මෙසේ මියගොස් ඇති අලි ඇතුන්ගෙන් සියයට 40ක් පමණ වයස අවුරුදු 30ත් 40ක් අතර වියේ පසුවන අලි ඇතුන් බවත් මෙම තත්ත්වය අලි ඇතුන්ගේ ගහණය වර්ධනය වීමට අහිතකර ලෙස බලපාන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළේය.
වැලිකන්ද සහ පූනානී අතර දුම්රිය මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2022 වසරේ එම මාර්ගයේ අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් 23ක් වාර්තා වූ බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.
ඊට අමතරව අඹන්පොළ සහ ගල්ගමුව, ගල් ඔය සහ හිඟුරක්ගොඩ, මනම්පිටිය සහ වැලි කන්ද වැනිමර්ගවලද අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් බහුල වශයෙන් වාර්තා වූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.
මෙම දත්ත පිරික්සීමේදී වර්ධනය වෙමින් පවතින අලි ඇතුන් දුම්රියවල ගැටීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවයක් අනාවරණය වන බවත් පෙත්සම්කරු සඳහන් කළා.
මෙවැනි සිද්ධි මතුවී තිබියදීත් ඒවා වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ග නොගැනීම තුළින් වග උත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මේ වන විට සිදු වී තිබෙන දුම්රිය වල අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටී.
එමෙන්ම අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.