ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව රිට් පෙත්සමක්

0
ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව රිට් පෙත්සමක්

ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව රිට් පෙත්සමක්

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම ඊයේ දින (03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම ජූනි මස 12වනදා විභාගයට ගන්නා බවය.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසිනි.

පෙත්සම්කාර සමාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන විසින් අවශ්‍ය අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදු කරන බවය.

මෙම ඉදිකිරීම් සිදු කරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ බලයට යටත් වන ප්‍රදේශයක් බවත් එහි කටයුතුවලට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම්, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com