අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක්

0
අලුත් අවුරුද්දෙන් පසු සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක්

අලුත් අවුරුද්දෙන් පසු සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක්

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ පිළිබඳ අද දිනයේ (23) මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.

මල්වතු මහා විහාරය වෙතද ගිය ජනාධිපතිවරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණා.

උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත වුණා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බවයි.

පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වුවත්, එය පොදු මහජනතාවගේ ආරක්ෂාවට ගැටලුවක් වී නැති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙතෙක් දේශපාලන රැකවරණය මත වර්ධනය වු පාතාලය මුළුමනින්ම මැඩ පැවැත්විමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීම රජයේද අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල්ද රජය වෙන් කර ඇති බවත් සඳහන් කළේය. මැතිවරණ කොමිසම විසින් ඒ සඳහා කඩිනමින් දින නියම කරනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com