අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්

0
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය හා එම පත්වීම බල රහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

උඩවලව සෝම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වේවැල්දූව ඥානප්‍රභා හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ කොමසාරිස්වරු, අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සංජය ෆොන්සේකා මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් පවසන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය සඳහා අයදුම්කරුවන් 16 දෙනෙකු අයදුම් කර තිබූ බවත් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර තිබූ බවයි.

එම සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ඉහළම ලකුණු ලබාගත් බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

එසේ තිබියදී එම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට නම් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව නීතියට පටහැනි ලෙස සිදු කර ඇති මෙම පත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව සදහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com