ආක්‍රමණික යෝධ නිදිකුම්බා ශාක මර්දනයට පියවර
![ආක්‍රමණික යෝධ නිදිකුම්බා ශාක මර්දනයට පියවර](https://srihanda.lk/wp-content/uploads/2025/02/යෝධ-නිදිකුම්බා-650x535.jpg)
ආක්‍රමණික යෝධ නිදිකුම්බා ශාක මර්දනයට පියවර
දරුණු ආක්‍රමණික ශාකයක් වන යෝධ නිදිකුම්බා ශාකය ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ජෛව විද්‍යාත්මක සහ කාලීන ඉක්මන් පියවර ගන්නා බව පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්වය පිළිබඳ අංශය සදහන් කර සිටියි.
එහි අධ්‍යක්ෂවරිය සදහන් කරන ලද්දේ ලංකාවේ තෙත් කලාප ආශ්‍රිතව පැතිරී ඇති මෙම නිදිකුම්බා විශේෂය මර්දනය කිරීම සඳහා මෙම ශාකය වැඩිපුර ව්‍යාප්ත වී තිබෙන බස්නාහිර පළාතේ ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කරමින් කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
මෙම යෝධ නිදිකුම්බා ශාක ඉදිරි වසර කිහිපයේ දී බස්නාහිර පළාතේ පුරන් කුඹුරු ඇතුළු පහත් බිම් වසා පැතිරීමේ අවදානමක් පවතින බව පසුගියදා අනාවරණයවී තිබුණි.
ජෛවවිවිධත්වය, කෘෂිකාර්මික ඇතුළු මානව කටයුතුවලට දැඩි බලපෑමක් සිදුකරන බවට මේ වන විට හඳුනාගෙන ඇති මෙම ශාකය මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මහවැලි ගංගාව ඇතුළු ජල මාර්ග ආශ්‍රිතව මීට පෙර බහුල ලෙස පැතිර තිබුණ ද මේ වන විට ඊට නොදෙවෙනිව බස්නාහිර පළාත ගිලගනිමින් පැතිර යමින් පවතින බව පරිසරවේදීහුද කියා සිටිති.
මේ වන විට වැඩ අතහැර දමා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ යෝධ නිදිකුම්බා ශාකය ශීඝ්‍රයෙන් පැතිර යන බවද, මහත් ආන්දෝලනයකට ලක්වූ ගම්පහ – දාරළුවේ “කෲඩියා සිලනිකාට් (පණු කරඳ) ශාකය ගලවා දැමූ ස්ථානයේ පවා මේ වන විට යෝධ නිදිකුම්බා ශාකය වැඩී ඇති බවද අනාවරණය වෙයි.
ශ්‍රී ලංකාවේදී දක්නට ලැබෙන ‘මිමෝසා’ ගණයට අයත් අනෙකුත් නිදිකුම්බා ශාක දෙක වන Mimosa pudica (බෙහෙත් නිදිකුම්බා) සහ Mimosa invisa ශාකවලට වෙනස්ව ආගන්තුක, දැඩි ආක්‍රමණකාරී ලක්ෂණ පෙන්වන මෙම යෝධ නිදිකුම්බා (Mimosa pigra) ශාකය ශ්‍රී ලංකාවේ ආක්‍රමණික ශාක ලැයිස්තුවේ 20 අතරට අන්තර්ගත කර ඇත.
1995 වසරේදී මෙම ශාකය ප්‍රථම වරට මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ දී හඳුනා ගන්නා ලද්දේ ප්‍රවීණ කෘෂි විද්‍යාඥයින් දෙපළක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර භෝග පර්යේෂණ සහ සංවර්ධනය කිරීමේ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් අමරසිංහ යන මහත්වරුන් විසිනි.