ලෝක කැරම් අනුශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම් දිවයිනට
ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක සෙනසුරාද දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මීට අමතරව ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ ෂයිඩ් හිල්මි සහ අනාස් අහමඩ් මෙන්ම හිරුෂි මල්ෂානි සහ තරුෂි හිමහංසිකා මෙම තරගාවලියේ දී කාන්තා සහ පිරිමි යුගළ තරග වලදී තුන් වන ස්ථානය හිමි කර ගෙන ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.
මෙම තරගාවලිය ඇමෙරිකාවේ සෙන්ට් ප්රැන්සිස්කෝ ප්‍රාන්තයේ කැලිෆෝනියාවේදී ඉකුත් 11/10ත් 11/18 දින දක්වා ලෝකයේ රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ එනම් සෙනසුරාදා දින රාත්‍රී 06.25ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත්, එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතා වලට මුහුණදී ඇති බවත්, ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප්, කටුනායක ගුවන් තොටුපොළේදී මාධ්‍ය හමුවේ අනාවරණයක්ද කළාය.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සදහා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.