ජුලම්පිටිය අමරේට නියම කළ දණ්ඩන තහවුරු කෙරේ

0
ජුලම්පිටිය අමරේට නියම කළ දණ්ඩන තහවුරු කරයි

ජුලම්පිටිය අමරේට නියම කළ දණ්ඩන තහවුරු කරයි

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජුලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද දින (20) තහවුරු කළේය.

එම නියෝගය ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම්, සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ල විසින්ය.

2012 ජුනි 15 වැනිදා කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා, තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ සම්බන්ධයෙන් අධි චෝදනා 5ක් යටතේ නීතිපතිවරයා ජුලම්පිටියේ අමරේට එරෙහිව නඩු ගොනු කර තිබුණි.

නඩුව විභාගයෙන් අනතුරුව එම චෝදනාවන්ට වරදකරු කෙරුණු ජුලම්පිටිය අමරේ නැමැත්තාට 2019 නොවැම්බර් 7 වැනිදා තංගල්ල මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේය.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර විත්තිකරු සිය ඇපෑල මගින් පවසා සිටියේ, මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි විනිසුරුවරයා විසින් සැළකිල්ලට නොගත් බවයි.

එබැවින් තමන්ව චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් විත්තිකරු ඇපෑල තුළින් ඉල්ලා තිබුණි.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරුවරුන් විසින් අද දින (20) නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කළ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවයි.

ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන මරණීය දණ්ඩනය තහවුරු කරන බවත් අදාළ ඇපෑල ප්‍රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com