2024 උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

2024 උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවයි.

විභාගය පැවැත්වෙන දින වකවාණුව පිළිබඳව තීරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදී බව පැවසු විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදුකරන බව පෙනී යන බවද සඳහන් කළේය.

ඒ අනුව දරුවන් අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කිරීමේ අරමුණින් මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළ බවද පැවසීය.

සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවත් පැවසීය.

මේ අතර තමාට හා විවිධ ආයතන වෙත සිසුන් කිහිපදෙනෙකුගෙන් විභාග කල්දමන ලෙසට ඉල්ලීම් ලැබෙමින් පවතින බවද පැවසු විභාග කොමසාරිස්වරයා, උසස් පෙළ විභාගයේ දින තීරණය කරනු ලැබුවේ සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳ අවධානය යොමුකර බවද කියා සිටියේය.

පසුගිය කාල සීමාව පුරා රට මුහුණදුන් නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදුවු බවත් පැවසු විභාග කොමසාරිස්වරයා 2025 අවසන් වී 2026 වසර ආරම්භයේදී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය.

ඒ අනුව උසස් පෙළ විභාගය කල්දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අපේක්ෂකයින්ගේ මානසිකත්වය වඩා හොඳින් පවත්වා ගන්නා ගෙන විභාග සඳහා පෙනී සිටින ලෙසත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මෙවර උසස් පෙළ සඳහා විෂයන් 64ක් යටතේ අයදුම්කරුවන් 333,185 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත්, ඉන් පාසල් අයදුම්කරුවන් 253,390ක් සිටින බවත් පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් අයදුම් කර ඇති බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය.

විභාග මධ්‍යස්ථාන 2,317කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර උතුරු පළාතේ ඩෙල්ෆ් සහ නයනතිව් දූපත්වලද විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇතැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *