ආරුගම්බේ සිද්ධියට අදාළව තිදෙනෙක් අත්අඩංගුවට

ආරුගම්බේ සිද්ධියට අදාළව තිදෙනෙක් අත්අඩංගුවට

ආරුගම්බේ සිද්ධියට අදාළව තිදෙනෙක් අත්අඩංගුවට

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිළි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද දිනයේදි (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කරලා තියෙනවාද කියන එක ගැන. ඒ අයගෙන් තොරතුරු ලබාගනිමින් තිබෙනවා. ලබාගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. සැක පිට තමයි ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගත්තේ. පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන් ගැන හෙළිකිරීම සාධාරණ නැහැ. කල්ඇතිව මේවා කියන්න ගියොත් පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වෙයි. ඔවුන් සතුව කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී සොයාගෙන නැහැ.”

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරය වැනි ප්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගත් බවයි.

“මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ලංකාවට පැමිණිලා ඉන්න සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. යම් යම් තොරුතුරු අනාවරණය වුණා… ලංකාවට පැමිණි සංචාරයගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා ඒ පිළිබද බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. අදට හරියටම මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. මාසය තුළ අවස්ථා කිහිපයකදීම රැස්වුණා.”

“එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉඳලම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය පැත්තෙන් ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ඉතාමත් ශක්තිමත්ව අරගෙන තිබෙනවා. පෙරේදා සවස වනකොට විදේශ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරුත් සමග පෙරේදා රාත්‍රියේම ආරක්ෂක පියවරයන් තවත් ශක්තිමත් කළා. ආරක්ෂක කවුන්සිලයෙන් අපි තීන්දු තීරණ ගණනාවක් ගත්තා. ත්‍රිවිධ හමුදාවත් විවිධ ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.”

“මේ කාලසීමාවේ ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවේ සංචාරකයෝ විදියට ඉන්නවා. මේ කාලය මැදපෙරදිග උණුසුම ඇතිවෙලා අවුරුද්දක් පිරෙන මාසයක්. ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයෝ ආගමික උත්සව පවත්වන කාලයක්. ඒ වෙනුවෙන් ඊශ්‍රායල ජාතිකයන් ලංකාවේ විවිධ ප්‍රදේශ තෝරාගෙන තිබෙනවා. ඒ තැන්වලට ඔවුන් එකතු වෙනවා. එවැනි ස්ථාන ඉලක්ක කරගෙන යම් තත්ත්වයක් ඇති කරන්න තමයි උත්සාහ කර තිබෙන්නේ. ආරක්ෂක පියවර අපි රැගෙන තිබූ නිසා තොරතුර තහවුරු වන තෙක් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *