ලෝක ගුරු දිනයට සමගාමීව “ගුරු ප්‍රතිභා ප්‍රභා – 2024” ගුරු ගුණ ඇගයීමේ උලෙළ

ලෝක ගුරු දිනයට සමගාමීව "ගුරු ප්‍රතිභා ප්‍රභා - 2024" ගුරු ගුණ ඇගයීමේ උලෙළ පැවැත්විණ

ලෝක ගුරු දිනයට සමගාමීව "ගුරු ප්‍රතිභා ප්‍රභා - 2024" ගුරු ගුණ ඇගයීමේ උලෙළ පැවැත්විණ

ඔක්තෝබර් මස පස් වෙනිදාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව ‘ගුරු ප්‍රතිභා ප්‍රභා – 2024’ ගුරු ගුණ ඇගයීමේ උලෙළ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය – අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද, එනම් සිකුරාදා දිනයේ (04) පැවැත්විණ.

මෙවර ගුරු දින සැමරුම් උලෙළේ තේමා පාඨය වී ඇත්තේ, ‘ගුරු හඬ අගයමින් – අධ්‍යාපනයේ නවමු සමාජ කතිකාවතක් සඳහා ඉදිරියට’ යන්නයි. මෙම වැඩසටහනේදී පාසල් පද්ධතිය තුළ උද්ගත වූ විවිධ ගැටලු සාර්ථකව නිරාකරණය කරමින් අභියෝග ජයගැනීම විෂයෙහි ගුරුභවතුන් දක්වන ලද විශිෂ්ට දක්ෂතා හෙවත් විශිෂ්ට ව්‍යවහාරයන්, පසුගිය 2023 වර්ෂයට පමණක් අදාළව, සැලකිල්ලට බඳුන් කර ගුරුභවතුන් ඇගයීමට ලක් කිරීම සිදු විය. ඒ අනුව පරිවේණාධිපතිවරුන්, විදුහල්පතිවරුන්, පරිවේණාචාර්යවරුන් සහ ගුරුවරුන් ඇතුළත් සමස්ත ගුරු භූමිකාව නියෝජනය වන පරිදි තෝරාගනු ලැබූ ගුරුභවතුන් පිරිසක් ඇගයීමට ලක් කෙරුණු අතර මෙම වැඩසටහන අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කළමනාකරණ හා ප්‍රමිති ශාඛාව විසින් සංවිධානය කර තිබිණ.

පළාත් මට්ටමින් ඉදිරිපත් කෙරුණු ගුරුභවතුන්ගේ විශිෂ්ට ව්‍යවහාර අගයමින් පරිවේණාධිපතිවරුන් හා පරිවේණාචාර්යවරුන් විසිදෙදෙනෙක් (22) සහ පාසල් 28ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරුභවතුන් 81 දෙනක් ජාතික මට්ටමින් අද (04) දින මෙම ගුරු උපහාර උලෙළේදී සම්මානයට පාත්‍ර වූහ.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන් ම දෙමාපියන් හා සිසු දරු දැරියන් ඇතුළු සියලු දෙනාගේ ම විශ්වසනීයත්වය දිනාගත් ඵලදායී අධ්‍යාපන යාන්ත්‍රණයක් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක විය යුතුය, යන ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසූ සංකල්පය ප්‍රායෝගිකත්වයට නැංවීම උදෙසා ගෞරවනීය ගුරු භූමිකාව සතු කාර්යභාරය පිළිබඳ මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණ.

මෙහි දී අධ්‍යාපනයේ නව පරිවර්තනීය වෙනසක් හරහා ගුරු භූමිකාව සතු ගෞරවනීය විශ්වාසය දරුවන්ගේ සිත් තුළින් හා සමාජයෙන් ගිලිහෙන්නට නොදී ඉදිරියටත් රැකගැනීමට කණ්ඩායම් හැඟීමෙන් යුත් ආකල්පවලින් පාසල් පද්ධතිය ක්‍රියාත්මක විය යුතු බව පැවසූ විද්‍යා හා තාක්ෂණ ලේකම්වරිය තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ආධ්‍යාපනික දැනුමෙන් පමණක් සම්පූර්ණ දරුවකුට වඩා පරිපූර්ණ දිවියකට අඩිතාලම දමාගත් දරුවකු සමාජගත කිරීමේ නිවැරදි දිශානතිය කරා රටේ අනාගතය රැගෙන යන සමාජ නියමුවන් වශයෙන් ගෞරවනීය ගුරුභවතුන් සදානුස්මරණීය වන බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන නිලධාරීන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *