කෝටි 500ක බදු අහිමි කළ සුඛෝපභෝගි මෝටර් රථ ආනයනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියෝග
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට වංචා කරමින් සුඛෝපභෝගි මෝටර් රථ 200ක් හොර රහසේ මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කළේය.
එලෙස ආනයනය කළ සුඛෝපභෝගි වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී රහසිගත බුද්ධි ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද එම රථය හොර රහසේ මෙරටට ආනයනය කළ සුඛෝපභෝගි ජීප් රථ දෙසීය අතරින් සොයා ගත් විසි වැනි ජීප් රථය බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත. මෙම ජීප් රථය එච්.එල්.කේ පරකැටැල්ල නමැති පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බවත් අදාළ ජීප් රථය වහා රජයට භාර දෙන ලෙසට සැප්තැම්බර් මස 18වැනිදා අධිකරණය මඟින් නියෝග කර තිබුණද රථ හිමියා අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
රථ හිමියාට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රථය අත්අඩංගුවට ගත් බවද කියැවිණි.
සුඛෝපභෝගි ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ තොරතුරු ලබාදෙමින් 2015න් පසු ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කරමින් 2005ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති බවත් එසේ ලියාපදිංචි කර ඇති බව මේ වන විට හෙළි වී තිබේ. එසේ මෙරටට ආනයනය කර ඇති සුඛෝපභෝගි වාහන දෙසීයක්(200) අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මඟින් විමර්ශන සිදු කරනු ලබයි. එම වාහන වහාම රජයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ නියෝග ප්‍රකාරව මෙම සුඛෝපභෝගි ජීප් රථය ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එසේ හොර පාරෙන් රැගෙන ආ මෝටර් රථ අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒ තුළින් රජයට විශාල වශයෙන් බදු වංචා කළ සැකකරුවන්ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කොමිසම සතු වගකීම බව පෙන්වා දෙමින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.