කෙහෙළියගේ පුතාට අයිති කෝටි 14ක සුපිරි මහල් නිවාස 2ක් පරිහරණයට තහනම්
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතාට අයත් කොළඹ කොල්ලුපිටියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස 2ක් පරිහරණය කිරීම කොළඹ මහාධිකරණය සිකුරාදා දිනයේ (19) තහනම් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීමකට අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මේ තහනම පැනවීය.
කොල්ලුපිටියේ කැපිටල් රෙසිඩන්ට් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් මිලියන 80ක් සහ මිලියන 65ක වටිනාකමින් යුත් රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් මාස 3ක කාලයක් සඳහා මෙසේ තහනම් කෙරිණි. බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ උදවියට අයත් රුපියල් 9,71,25,000ක් වටිනා ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක් සැක කටයුතු ගනුදෙනු සිදුව ඇති බව මහාධිකරණය තීරණය කිරීමෙන් පසු අත්හිටුවීය.