ශ්‍රී ලංකාව වන ගහනය 30%ක සීමාවේ පවතින ලොව රටවල් තුන අතරට
ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.
මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 2020, 2021 හා 2022 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණි.
ලෝකයේ රටවල් තුළ පවතින වනාන්තරවල ප්‍රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. 2018 වන විට හෙක්ටයාර මිලියන 1.4ක පමණ වනාන්තර ගැසට් කර ඇති බවත් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්හය දහසක් පමණ පවතින බවත් නිලධාරීහු පැවසුහ. ඒ අනුව එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් කාරක සභා සභාපතිවරයා එලෙස ගැසට් කිරීමට ගතවන කාලය, ගැසට් කිරීමෙන් පසු එම වනාන්තර කුමන අධිකාරිය භාරයේ පවතින්නේද යනාදී කරුණු ඇතුළත් වාර්තාවක් මාස දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.
ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීම සඳහා වැඩිම දෙස් විදෙස් සංචාරකයින් පැමිණ ඇත්තේ මෙම වසරේ බව නිලධාරීහු පෙන්වා දුන්හ. සමස්ත සංචාරකයින් 35000කට අධික පිරිසක් සිංහරාජ වනාන්තරය නැරඹීමට මෙලෙස ගතවූ මාස කිහිපය තුළ පැමිණ තිබේ. මෙහිදී වනාන්තරයට හානි සිදු නොවන අයුරින් තවදුරටත් සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි කරමින් ඉහළ සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු ලබාදීම සඳහා ප්‍රධාන කාර්යාලයේ මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව ඒ සඳහා වන මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූ අතර මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා ඒ පිළිබඳ වාර්තාවක්ද කාරක සභාවට යොමුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිඟ අදායම් අයකර ගැනීම සඳහා ඵලදායී අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කර නොතිබීම පිළිබඳව කාරක සභාව වීමසන ලදී. එහිදී කළු ගල් කොරි, කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හා සම්ප්‍රේෂණ කුළුණු මගින් හිඟ අදායම් ලබා ගැනීමට පවතින බව ජාතික විගණ කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ. ඒ අනුව කළු ගල් කොරි සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන බලපත්‍රය ඉක්මවා කළු ගල් කැඩීම ඔස්සේ මෙලස හිඟ අදායම් ලබා ගැනීමට පවතින බව නිලධාරීහු පැවසුහ. ඒ අනුව කළු ගල් කැඩීමට බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය අදාළ ආයතන හා සම්බන්ධවෙමින් නියමිත ප්‍රමාණයට පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම සම්ප්‍රේෂණ කුළුණු ලබාදීම ඔස්සේ දුරකථන සන්නිවේදන ආයතනවලින්ද ලබාගැනීමට විශාල හිඟ මුදලක් පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව එම සියලු හිඟ මුදල් ලබාගැනීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේ අතර වල්ලාපට්ට නම් ශාකය මෙරටට විදේශ විනිමය රැගෙන ඒමේ ඉහළ හැකියාවක් පවතින ශාකයක් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසට කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී. මෙහිදී නිලධාරීහු විසින් වල්ලපට්ට ශාකය වගා කිරීමට නීතියෙන් කිසිදු තහනමක් නොමැති බව කාරක සභාවට දැන්වුහ. කෙසේ වෙතත් මෙම ශාක වනාන්තරවලින් කැපීම් කර නීතිවිරෝධීව බපලත්‍ර රහිතව රැගෙන යාම තහනම් බවද ඔවුහු පෙන්වා දුන්න. වල්ලපට්ට ශාකයට සමාන ලක්ෂණ පවතින ඇක්විලාරියා (Aquilaria) නම් ආනයනික ශාකය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වගාකිරීම ආරම්භ කර තිබෙන බවද එම නිලධාරීහු පෙන්වා දුන්න. වල්ලාපට්ටා සහ ඇක්විලාරියා ශාක වල වෙනස පහසුවෙන් හඳුනාගැනීමට නොහැකි බවද එම නිලධාරීහු වැඩි දුරටත් පැවසූහ. එම හඳුනාගැනීමේ අපහසුව හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් වනාන්තරවලින් කපාගන්නා ලද වල්ලපට්ට ශාක, පෞද්ගලික වගාවන්ගෙන් ලබාගත් ශාක ලෙස හුවාදැක්වීමට කටයුතු කරන බව පෙන්වා දුන්න. එම තත්ත්වය මග හරවාගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් මගින් අදාළ ශාක වර්ග දෙක හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.