වෛද්‍යවරුන් 5000ක් විදේශ වෛද්‍ය විභාග සමත් විමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බරපතල ගැටළුවක

වෛද්‍යවරුන් 5000ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීමට අවශ්‍ය විභාග සමත්

වෛද්‍යවරුන් 5000ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීමට අවශ්‍ය විභාග සමත්

මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ වනවිට රජයේ රෝහල්වල සේවය කරන්නේ වෛද්‍යවරුන් 20,000ක් පමණ නිසා ඉන් 5000ක් විදෙස්ගත වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ආරංචි මාර්ග පැවැසුවේය. තවද එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියේ නිරතවීම සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා සමත් විය යුතු විභාගයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් 3500න් 750ක් ශ්‍රී ලාංකිකයන් බව හා ඉන් 550ක් විභාගය සමත් වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ මෙම ගැටළුවට මුහුණදීම සඳහා තවත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කිරීමට සැලැසුම් කර ඇති බව හා විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම පාලනය කළ නොහැකි කරුණක් බවත්ය.

මේ අතර වෛද්‍යවරුන් විදේශගත වීම නැවත්වීම සඳහා වැටුප් පද්ධතිය සංශෝධනය කරන ලෙස හා ඔවුන්ට මූල්‍ය දීමනා ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ රජයට යෝජනා කර ඇත. නමුත් එම යෝජනාවට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද වාර්තා විය.

එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසුවේ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ ඔවුන්ට මුල්‍ය දීමනා ලබා දීම අපහසු කරුණක් බවයි. කෙසේ නමුත් මෙම ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපරිම උත්සාහ දරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *