Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ්ව එන්නත ගැන සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

කොවිඩ්ව එන්නත ගැන සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

කොවිඩ්ව එන්නත ගැන සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් එන්නතින් අතුරු ආබාධ ඇතිවන බවට බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ එම සමාගම පිළිගත් පසුබිමක එන්නත සම්බන්ධයෙන් සැකසංකා මතුව පවතියි.

කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බවය.

කොවිඩ් වසංගතය පාලනය සඳහා නිපදවූ එන්නත් මගින් එය මැඩපැවැත්වීමට ලබාදුන්නේ විශාල සහායකි.

රටවල් වැසී දෛනික කටයුතු අඩපණව පැවති වාතාවරණයක කොවිඩ් පාලනයට එන්නතක් හඳුන්වාදීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් සමත්වූයේ 2020 වසරේ අග භාගයේදීය.

එන්නත නිපදවා පළමු වසර ඇතුළතදී එන්නත් මාත්‍රා බිලියන 3ක් ඇස්ට්‍රාසෙනෙකා සමාගම ලොවපුරා බෙදා ඇති අතර එමගින් මිලියන 6කට වැඩි ජීවිත සංඛ්‍යාවක් බේරාගැනීමට හැකිවූ බව එම සමාගම සඳහන් කළේය.

පසුව තවත් කොවිඩ් එන්නත් කිහිපයක්ම ලොව හඳුන්වා දෙනු ලැබූ පසුබිමක අමෙරිකාව මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ට අනුමැතිය නොදුන්නේ රුධිර කැටිගැසීම සඳහා එය හේතුවී ඇතැයි ලැබුණු සැකසහිත තොරතුරු මතය.

කෙසේවෙතත් එන්නත බෙදාහැරීම ඇරඹී වසර තුනකට පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේය.

ඒ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත මගින් රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බවට එම ආයතනය බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමෙන් පසුවය.

කොවිඩ් පාලනය සඳහා ලබාදුන් එන්නත මගින් රුධිරය කැටි ගැසීම සහ රුධිර පට්ටිකා අඩුවීම යන තත්ත්වයන් එකතුවීමෙන් ඇතිවන දුර්ලභ සංකූලතාවයන් ඇති වන අතර මේ නිසා ආඝාතය, මොළයට හානි වීම, හෘදයාබාධ, පෙනහලු ආබාධ, ශරීරාංග ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව වාර්තා වී ඇත.

රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට පාර්ශ්ව කිහිපයක්ම එම සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් නමින් මෙරටට ගෙන්වූ එන්නත පළමු මාත්‍රාව ලෙස පුද්ගලයින් 1,479,631ක් ලබාගෙන ඇති අතර එම එන්නත දෙවන මාත්‍රාව ලෙස 1,418,593 දෙනෙකු ලබාගෙන තිබේ.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය.

Exit mobile version