බොරු නඩු දැම්මැයි කොළඹ රථ වාහන පොලිසියෙන් මිලියන 200ක වන්දියක් ඉල්ලා නඩු පවරයි

0
වැඩබලන පොලිස්පතිගෙන් පොලිසියට දැනුම්දීමක්

වැඩබලන පොලිස්පතිගෙන් පොලිසියට දැනුම්දීමක්

ද්වේෂසහගත ලෙස අභූත චෝදනා නගා තමාට එරෙහිව නඩු පැවරූ කොළඹ රථවාහන පොලිසියේ නඩු පැවරුම් අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා විදුලි සහ පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු දෙකක් පවරනු ලැබීය.

නීතිඥ චලනි ද සිල්වා මහත්මිය මගින් පවරනු ලැබූ එම නඩු දෙකේ අනෙක් විත්තිකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇත.

තමා 2022.02.05 වැනිදා රාජගිරිය කොටා පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා සිය මෝටර් රථයෙන් ගමන් කළ බවත් පසුව මාර්ගයේ රැඳී සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරියකු රිය නවතා සිය රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි විට ඒ වනවිට තමා සන්තකයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සිය පැමිණිල්ල මගින් අධිකරණයට පවසයි.

වලංගු රිය පැදවීමේ බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හා දුම්රිය මාර්ගයේ විදුලි සංඥා නොතකා අනතුරුදායක ලෙස රිය පැදවීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුව විභාග කළ කොළඹ රථවාහන අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ලබාගත් සාක්‍ෂි අනුව තමාට වලංගු රිය පැදවීමේ බලපත්‍රයක් ඇති බව නිගමනය කොට එකී චෝදනාව හා දුම්රිය සංඥා නොතකා රිය පැදවූ බවට වූ චෝදනාව පිළිගත නොහැකි බවට නිගමනය කොට එම චෝදනාවෙන් ද තමා නිදොස් කොට නිදහස් කරමින් නියෝගයක් නිකුත් කළ බවත් හෙතෙම දිසා අධිකරණයට සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබිණි.

2024.02.05 වැනිදා මහෙස්ත්‍රාත්වරයා එකී තීන්දුව නිකුත් කරන විට නඩු පවරා වසර දෙකක් සම්පූර්ණ වී තිබූ බවත් විත්තිකාර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා නිසි විමර්ශනයක් සිදු නොකර සිදුකළ එම නඩු පැවරීම නිසා තමන්ට වසර දෙකක් විටෙන් විට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවීමෙන් සිදුවූ මූල්‍යමය පාඩුවට වන්දියක් ලෙස එම මුදල අයකර දෙන ලෙස මහේෂ බණ්ඩාර ඉලංගසිංහ මහතා සිය පැමිණිල්ල මගින් දිසා අධිකරණයෙන් ඉල්ලා ඇත.

පොලිස් මෙහෙයුම් මැදිරියේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු සී. සී. ටී. වී කැමරා දර්ශන නරඹා තමාට එරෙහිව නඩු පැවරීමට නියෝග කළ බව අධිකරණය හමුවේ ප්‍රකාශ වුවත් ඔහු හෝ එදින දුම්රිය හරස් මාර්ගයේ රාජකාරියේ යොදවා සිටි සේවකයා හෝ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස ඉදිරිපත් කිරීමට කොළඹ නාගරික රථවාහන අංශය අසමත්වීම සම්බන්ධයෙන් ද මහෙස්ත්‍රාත් අධිකරණයේ අවධානය යොමුකර තිබූ බවත් හෙතෙම එමගින් පෙන්වා දී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com