ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට මෙතෙක් ගෙවීමට නොහැකි වූ කෝටි 199ක් ගෙවා දැමීමට සැලසුම්

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට මෙතෙක් ගෙවීමට නොහැකි වූ රුපියල් කෝටි 199ක මුදලක් (මිලියන 1989.75) මේ 31ට පෙර ගෙවා දැමීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සැලසුම් කරයි.
ඉදිකිරීම් කර්මාන්තය සඳහා වෙන් වූ සංවර්ධන බැංකුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවක්ද මේ වන විට ඉදිරිපත්ව තිබේ. මේ යෝජනාව පිළිබඳව සංකල්ප පත්‍රිකාවක් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කර ඇති අතර ඊට ලැබෙන ප්‍රතිචාර අනුව නව බැංකුව ස්ථාපනය කිරීමට නියමිතය. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එම මුදල ගෙවීමත් සමඟ කොවිඩ් වසංගතය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නොගෙවා තිබූ බිල්පත් සියල්ල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වන බවයි.
මීට අමතරව මේ වසර තුළ කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1112.57ක මුදලද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.