රිලවුන් ගැන තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණයි

0
රිලවුන් ගැන වනජීවී දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක්

රිලවුන් ගැන වනජීවී දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක්

රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ තීරණයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශයට නීත්‍යනුකූල බලයක් නැතැයි ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසීය.

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව උන් පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් යැයිද ඔහු ප්‍රකාශ කළේය.

එම ආයතනය ඇත්තේ, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය යටතේ මිස කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ නොවන බව හෙතෙම අවධාරණය කළේය.

වියළි කලාපයේ හමුවන Macaca sinica sinica නම් දර්ශීය උප-විශේෂය සහ තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල හමුවන Macaca sinica aurifrons නම් උප-විශේෂය මෙරට හමුවන ප්‍රධාන විශේෂ බවද ඔහු පැවසීය.

ඉන් වැඩිම ව්‍යාප්තියක් සහ ඉහළ ගහන ඝනත්වයකින් යුතු වන්නේද, වගාවන්ට වැඩිම හානියක් කරන්නේද දර්ශීය මැකාකා සයිනිකා සයිනිකා (Macaca sinica sinica) නම් උප-විශේෂය බව පෙනී යන්නේ යැයිද ආචාර්ය ජගත් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ඒ කෙසේ වුවත් මෙරටදී හමුවන රිලවාගේ උප-විශේෂ පිළිබඳව සහ උන්ගේ ව්‍යාප්තිය ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් මේ වනතුරුත් නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති බවට ඔහු චෝදනා කළේය.

ඒ නිසා රිලවුන් විශාල සංඛ්‍යාවක් අපනයනය කරන්නේ නම් ඔවුන් ලබා ගන්නේ කිනම් ප්‍රදේශවලින්ද, එම ප්‍රදේශයෙන් අල්ලා ගන්නා වඳුරන් සංඛ්‍යාව, එම සතුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳවද සොයා බැලිය යුතු බව හෙතෙම කීය.

මේ අතර චීන සත්ත්වෝද්‍යාන වෙත නම් මෙරට සිටින රිලවුන් ලක්ෂයක් ලබා දෙන්නේ අඩු තරමේ සතුන් දෙදෙනකු බැගින් හෝ රඳවා තැබිය හැකි සත්ත්වෝද්‍යාන පනස්දාහක්වත් තිබිය යුතු බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් ප්‍රකාශ කළේය.

සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට යැයි පවසමින් වුවත් ඔවුන් ඉල්ලන්නේ මෙරටට අවේණික රිලවුන් නිසා උන් ලබා දීම මෙරට සතුන්ගේ ජාන පරම්පරා අනතුරේ හෙළීමක් බවද ඔහු අවධාරණය කළේය.

මෙරටට ආවේණික රිලවුන් මිනිසාට බොහෝ සමානකමක් දක්වන නිසා චීනයට රැගෙන යන රිලවුන් සායනික අත්හදා බැලීම් සඳහා වුවද යොදා ගැනීමේ අවදානමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එම සතුන් එකෙක් දෙන්නෙක් නොව ලක්ෂයක්ම එකවර ඉල්ලා සිටීම තුළ යම් සැඟවුණු අරමුණක් පවතින්නේද යන්න සැක සහිත යැයිද ඔහු සඳහන් කළේය.

– mawbima

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com