ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි; එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි – චීනය ලංකාවට කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය IMF වෙතට
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවත්, එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවත්, චීනය යෝජනා කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ අවස්ථාවේ ණය ගෙවීම අසීරු බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ශ්‍රී ලංකාව ණය හිමියන්ට දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ණය දී ඇති බටහිර රටවල් එයට සාධනීය ප්‍රතිචාර දක්වා ඇතත් චීනය ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථාවරයක් දරණ බව සඳහන් කළේය. චීනය ලෝකයේ විවිධ රටවලට ණය දී ඇති බැවින් එක රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියහොත් අන් රටවලින්ද බලපෑමක් විය හැකි නිසා, එසේ නොකර ඒ ණය ගෙවීමට තවත් ණයක් දීමට සූදානම් බව ඔවුන් යෝජනා කර තිබෙන බවද ඇමතිවරයා කීවේය.
මේ ගැන මූලික මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති බවත්, මුදල් ඇමති අලි සබ්‍රි මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කරුණු පැහැදිලි කිරීමට නියමිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය. අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක 5ක හදිසි අවශ්‍යතාවයක් තිබෙන නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් ඊට උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමම විශාල ශක්තියක් බවත් අමාත්‍යවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ණය ගෙවීමේ වැඩසටහනක් ඉල්ලා තිබෙන බවත්, ඉන්පසු කටයුතු කළ ආකාරය ගැන ඔවුන් ප්‍රකාශ කරනු ඇති බවත් කී ඇමතිවරයා මෙතෙක් බදු වැඩිකිරීම් ආදිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් වී නැතැයිද පැවසීය.