ලංකාවේ සංචාරය කිරීම නැවත සලකා බලන ලෙස අමෙරිකාව එරට පුරවැසියන්ට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවට එන අමෙරිකානුවන්ට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශේෂ පණිවුඩයක්
පවතින වසංගත තත්ත්වය, ඉන්ධන සහ ඖෂධ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත සලකා බලන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අප්‍රේල් (06) මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ තර්ජිත මට්ටම සිව් වන ස්ථානයේ සිට තෙවන ස්ථානය දක්වා ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්ධන සහ ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටින බවය.
එමෙන් ම ආර්ථික අර්බුදය සහ ඉන්ධන පිරවුම්හල්, සිල්ලර වෙළෙඳසල් සහ ඇතැම් ඖෂධ වෙළෙඳසල්වල පෝලිම් පැවතීම සම්බන්ධයෙන් මෑතකදී රට තුළ විරෝධතා ඇති වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. තවද රට පුරා එලෙස විරෝධතා ඇති වී ඇති අතර බොහෝ දුරට ඒවා සාමකාමී විරෝධතා වූ බව ත් ඇතැම් අවස්ථාවල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
තව දුරටත් ශ්‍රී ලංකාවේ තත්ත්වය පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සැලැසුම් කළ සහ සැලසුම් නොකළ විදුලි කප්පාදු රට තුළ සිදු වන බවත් විදුලි ජනක යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධනද ක්‍රම ක්‍රමයෙන් හිඟ වන බවත්ය. ඇතැම් අවස්ථාවල පොදු ප්‍රවාහනයද සීමා කිරීම් සහ නතර කර දැමීම් සිදු වන බවද එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
ඒහේතුවෙන්, පවතින තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වීම සඳහා සංචාරකයින් දේශීය මාධ්‍ය නිරීක්ෂණය කළ යුතු බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන එරට පුරවැසියන් වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.