මිරිහානේ විරෝධතාවය අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශ රැස්වීම මෙහෙයවා තිබෙන්නේ ඇවන්ගාඩ් ලොක්කා – විජිත හේරත් හෙළිකරයි

මිරිහානේ පිහිටි, ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවය අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති විසින් බව හෙළිවී ඇති බවට, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් (06)වැනි දා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය.
එහිදී ඔහු සඳහන් කර සිටියේ,
“මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිට විරෝධතාවය යනකොට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි මීටිමක් කැඳෙව්වා. ඒ රැස්වීමට ඇවන් ගාඩ් එකේ ප්‍රධානියා නිස්සංක සේනාධිපතිත් සම්බන්ධ වුනා. මම වගකීමෙන් කියන්නේ. නිස්සංක සේනාධිපති තමයි එතන රැස්වීම සම්පූර්ණයෙන් මෙහෙයෙව්වේ. ඒ නිස්සංක සේනාධිපති මිරිහාන සිදුවීම පිළිබඳව නිස්සංක සේනාධිපති ඉතා පැහැදිලිව කිව්වා, බයවෙන්න දෙයක් නැහැ මම මිරිහානට 200ක් බැස්සුව කිව්වා. පවුල් පිටින් මම 200ක් බැස්සුවා කිව්වා. නිස්සංක සේනාධිපති ආරක්ෂක අමාත්‍යාංශයේ ඒ හදිසියේ කැඳවපු රැස්වීමෙදි ඉතා පැහැදිලිව කිව්වා මම 200ක් මිරිහානට පවුල් පිටින් බස්සලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ආණ්ඩුවම දැනුවත්ව මැදිහත්වෙලා මේ උද්ඝෝෂණ කඩාකප්පල් කාරී කරලා, ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්න ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තියෙනවා. මේ රටේ ජනතාව ඒක දැනගත යුතුයි. ඒ නිසා අපි උද්ඝෝෂණ කරුවන්ටත් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා එවැනි ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යන්න එපා. ආණ්ඩුවේ කුමන්ත්‍රණයට අහුවීමක් වෙනවා. ඒකෙන් වෙන්නේ ඇත්ත ප්‍රශ්නය යට ගැහීමක්.”