ලාංකික යුවල අතර බහුල ලිංගික ගැටලු සහ ඒවාට පිළියම්
යහපත් ලිංගික ජීවිතයක් පැවතීම, සාර්ථක විවාහ ජීවිතයක් සඳහා වැදගත් වන මූලික අංගයකි.
එනමුත් ශ්‍රී ලංකාවේ ඌණ ලිංගික අධ්‍යාපනයත්, සමාජයීය සහ සංස්කෘතික තහංචිත් නිසාවෙන් ශ්‍රී ලංකාවේ යුවල අතර ලිංගික ගැටලු බහුල ය. මෙය විවාහ ජිවිතයේ ගැටලු මතුවීම, මානසික සෞඛ්‍යය පිරිහීම, සහ විවාහය දික්කසාදයෙන් කෙළවර වීමට පවා බලපායි.
විවාහය හෝ ආදර සබඳතාවක් තුළ ලිංගික දිවිය අසාර්ථක වීමට බලපාන හේතූන් බොහෝ වෙයි. කෙසේ නමුත්, නොදැනුවත්කම සහ අනවබෝධය නිසා මෙම ගැටලු විසඳාගැනීමට හෝ විශේෂඥ සහාය පැතීමට බොහෝදෙනා අපොහොසත් වන බවට විශේෂඥයින් ගේ මතයයි.
ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ පවසන්නේ ශ්‍රී ලාංකික යුවල අතර ලිංගික ගැටලු ඇතිවීමට බොහොමයක් කාරණා හේතුවන බවය.
දෙදෙනෙකු අතර ලිංගික සබඳතාව සාර්ථක වීමට නම් දෙදෙනාටම ලිංගිකත්වය පිළිබඳ අවබෝධය සහ දැනුමක් තිබීම වැදගත් ය. නමුත් ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ මඳකම සහ ලිංගික දැනුම අඩුකම, ලිංගිකත්වය දකින ක්‍රමයේ ඇති අඩුපාඩු, ලිංගිකත්වය පිළිබඳ එකිනෙකාගේ අවබෝධයේ පරතරය වැඩිවීම, ගතානුගතික විශ්වාසයන් ආදී කරුණු බොහෝමයක් හේතුවන බව විශේෂඥ මනෝවෛද්‍ය කපිල රණසිංහ පවසයි.
“ලිංගිකව ගැලපෙනවා නම් තමයි දෙන්නෙක් විවාහ විය යුත්තේ කියන සංකල්පය නෑ අපේ [රටේ],” ඔහු කියා සිටියේ ය.
ලංකාවේ යුවල අතර ලිංගික ගැටලු බහුල ඇයි?
“අපේ ලංකාවේ සියලුම ලිංගික ගැටලු තියෙනවා. ඒ කියන්නේ මානසික ආතතිය, පීඩනය නිසා ඇතිවන ලිංගික ආසාව අඩුවීම, ලිංගික උත්තේජනය අඩුවීම තියෙනවා. ඊළඟට, ලිංගිකත්වය විචිත්‍රවත් ලෙස දකින්නේ නැති නිසා, ඒ ගැන අවබෝධයක් නැති නිසා ඒකාකාරී ලිංගික ජීවිත ගතකළාම දෙදෙනාට දෙදෙනා කෙරෙහි ඇති ලිංගික ආකර්ෂණය බහිනවා… ආකර්ෂණය අඩුවුණාම ආසාව බහිනවා,” ලංකාවේ බහුලම ලිංගික ගැටලු සම්බන්ධයෙන් අප යොමුකළ පැනයට පිළිතුරු වශයෙන් මනෝවෛද්‍ය කපිල රණසිංහ පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ජනමාධ්‍ය ලිංගිකත්වය යන මාතෘකාවේ දී කාන්තාවන් සහ පිරිමින් දෙස බලන්නේ වෙනස් කෝණයන්ගෙනි. පිරිමියෙකු නිදහසේ ලිංගිකත්වය විඳීම සාමාන්‍ය දෙයක් වන නමුත්, කාන්තාවන් ලිංගිකව විනෝදයක් ලැබීම නොහොබිනා ය යන ගතානුගතික විශ්වාසය තවමත් මෙරට සමාජය තුළ මුල් බැසගෙන ඇත.
“ඒ වගේම පිරිමින්ගෙත් තියෙනවා මේ පෞරුෂ ආබාධ සහ අධ්‍යාපනයේ අඩුකම නිසා, තමන් [ලිංගික කටයුතු] එන්ජෝයි කළාට තමන්ගේ පෙම්වතිය, සහකාරිය, හෝ බිරිඳ ලිංගිකත්වය එන්ජෝයි කරනවාට, එහෙම නැත්නම් ඔවුන් සරාගී විදියට අඳිනවාට පවා බාධා ඇතිකරන පිරිමි තමයි වැඩිපුර ඉන්නේ.”
“දෙදෙනාම කැමති විදියට, දෙදෙනාම තෝරාගත් ක්‍රමවේදයකට නැතුව ගතානුගතිකව ලිංගිකත්වය දෙස බලන්න ගියාම සමහර වෙලාවට කාන්තාවෝ වේදනාවට පත්වෙනවා. ඔවුන්ට ලිංගික හැසිරීම විනෝදාස්වාදයක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහරුන්ට ඒක වේදනාත්මක යි. ඊළඟට, මුල් අවස්ථාවේම නොදැනුවත්කම නිසා ලිංගික චිත්‍රපට තුළ දකින ඉරියව් භාවිතා කරන්න ගිහින් ගැටලු ඇතිවෙනවා.”
“බිරිඳකගේ යුතුකම තමයි සැමියා තෘප්තිමත් කරන එක වගේ වැරදි සංකල්ප තියෙන්නේ,” ඔහු කියයි.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය තිබෙන්නේ ඉතා සෝචනීය අඩියක ය. ලංකාවේ බොහෝ වැඩිහිටියන් සතු ලිංගික දැනුම විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු විධිමත් අධ්‍යාපනය හරහා ලබාගත්තක් නොව මිතුරන් හරහාත්, නිල් චිත්‍රපට සහ ජනමාධ්‍ය හරහාත් ලබාගත්තකි. මෙනිසා ද යුවල අතර ලිංගික ගැටලු ඇතිවේ.
“සමහර වෙලාවට අපි දැකලා තියෙනවා, දෙන්නා ලිංගිකව එකතුවෙන්නේ නෑ, නමුත් දරුවෙක් හදන්න කියලා බෝධිපූජා තියනවා. ‘ඔය දෙන්නා සෙක්ස් කරන්නේ නැති නිසා තමයි ළමයි එන්නේ නැත්තේ’ කියලා VOG අපට කියලා එවනවා. [යුවලට] තෙරපි සෙෂන් එකට ඊළඟ සුමානේ එන්න කියපුවම කියනවා, ‘අනේ එදාට එන්න බෑ, අපි ගිහිල්ලා බෝධි පූජාවක් තියනවා ළමයි හම්බුවෙන්න කියලා’,” වෛද්‍යවරයා සිය අත්දැකීමක් අප හා බෙදාගත්තේ ය.
කාන්තාවන් අතර බහුල ලිංගික ගැටලු
ලිංගික හැසිරීමේ දී ඇතිවන වැජිනිස්මස් තත්ත්වය ලංකාවේ ඉතා බහුල බව වෛද්‍යවරයා පවසයි.
ලිංගික අධ්‍යාපනයේ අඩුපාඩු නිසාත්, මිත්‍යා විශ්වාසවල එල්බ ගැනීම නිසාත්, පළමු ලිංගික එක්වීමේ දී යෝනි මාර්ගයේ මාංශ පේශීන් තද වී සංසර්ගය සිදු කිරීමට නොහැකි වන බව ඔහු සඳහන් කළේය.
“ලංකාව ලෝකෙන් බහුලවම [වැජිනිස්මස්] තියෙන රටක් වෙන්න ඇති. ගොඩක් වෙලාවට ගැහැණු දරුවන් විශාල ලෙස පාලනය කරමින්, කාන්තාවන් විතරක් යන පාසැල්වලට යවලා, මේ ලිංගිකත්වය කියන්නේ නරක දෙයක්, තමන්ගේ කන්‍යාභාවය ගැන යල්පැන ගිය සංකල්ප කියාදීලා, ඒක ආරක්ෂා කළ යුතු යි කියලා දෙමාපියෝ දරුවෝ හදන නිසා ලිංගිකත්වයට බියක් ඇතිවෙනවා. මේ බිය නිසාම වැජිනිස්මස් හැදෙනවා.”
ලිංගික එකතු වීමේ දී කාන්තාවන්ට වේදනාවක් ඇති කරන “සයිකොලොජිකල් ඩිස්පැරූනියා’ නම් තත්ත්වය ද ලංකාවේ දක්නට ලැබෙයි.
“එකේ දී වෙන්නෙත් ගොඩාක් වෙලාවට, පූර්ව ලිංගික ක්‍රියාවල ඇති ගුණාත්මකබව අඩුකම,” වෛද්‍යවරයා විස්තර කරයි. රොමෑන්තික ගතියකින් හෝ පූර්ව ලිංගික කටයුතුවලින් තොරව සෘජුව යෝනි සංසර්ගය වෙත එළඹීමේ දී කාන්තාව ඒ සඳහා ලිංගිකව සූදානම් නැති නිසාවෙන් මෙසේ වේදනාවක් ඇති විය හැකි බැව් ඔහු පැවසුවේ ය.
“ලිංගිකත්වය සැබෑවටම එන්ජෝයි කරන්න නම් දෙන්නා සම තත්ත්වයෙන් සලකන්න ඕනේ. එතකොට තමයි ඒක විනෝදාත්මක ක්‍රියාවලියක් වෙන්නේ.”
මේ අතර ආසියාතික කාන්තාවන් ලිංගිකත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා නොකිරීම හේතුවෙන් තමන්ගේ රුචි අරුචිකම් තම සහකරුවා සමග කතා කිරීමට මැලිකමක් දැක්වීමත් එසේ කතා කිරීමෙන් තම සහකරුවා තමා පිළිබඳව වැරදි මතයකට එලබේ යැයි ඇති බිය වැනි කාරණා සහ විවාහයෙන් පසු කාන්තාවන් ගෙදර දොර කටයුතු සහ දරුවන් ගේ කටයුතු වෙනුවෙන් කැප වීමෙන් තම ලිංගික ජීවිතය අමතක කිරීම වැනි කාරණා ද මෙයට බලපාන බවට විශේෂඥයින් පැවසීය.
පුරුෂයින් අතර බහුල ලිංගික ගැටලු
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩා පිරිමින් අතර ලිංගික ගැටලු, සහ ලිංගික හෝමෝනමය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාව වැඩිබව ද, සරුභාවය අඩුබව ද වෛද්‍ය රණසිංහ ප්‍රකාශ කරයි. මෙයට හේතු වී ඇත්තේ නාගරීකරණය සමග ඇතිව තිබෙන ක්‍රියාශීලී නොවන ජීවන රටාව නිසා බැව් ඔහු කියයි.
“ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ”
එසේම, ශ්‍රී ලංකාවේ පුරුෂයින්ගේ කායික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය සමග ලිංගික සෞඛ්‍යය ද බැඳී පවතියි.
“තාරුණ්‍යයේ ඉන්න පිරිමි, වැඩිහිටි පිරිමි ගත්තහම ගොඩක් දෙනා කායිකව කාර්යයක්ෂම නොවන, මානසිකව පීඩනයකින් ඉන්න ජීවිත ගතකරනවා. ඒක නිසා ඔවුන්ගේ ලිංගික සෞඛ්‍යය පිරිහෙනවා. ඒ එක්කම, දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ රෝග හැදෙනකොටත් පිරිමින්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඒ හින්දා අර මෙනොපෝස් වගේ ඇන්ඩ්‍රොපෝස් ඇතිවෙනවා,” විශේෂඥ වෛද්‍ය රණසිංහ කියා සිටියි.
ලංකාවේ පුරුෂයින්ට ‘ඇන්ඩ්‍රොපෝස්’ නම් තත්ත්වය අවු. 40 – 50 අතර වයසේ දී ඇති වනබව ඔහු පවසයි. ප්‍රීතිය අඩු සමාජයක පීඩනයෙන් ජීවත් වන විටත්, බෝ නොවෙන ලෙඩරෝග සහ ඒවාට ගන්නා ඇතැම් ඖෂධ නිසාත් මෙසේ සිදුවන බව ඔහු කියයි.
ඇන්ඩ්‍රොපෝස් යනු ටෙස්ටොස්ටෙරෝන් නම් ලිංග හෝමෝනය අඩුවීමත් සමග පිරිමින්ගේ ලිංගික තෘප්තිය සහ ආශාව අඩුකරවන, ලිංගික අප්‍රාණිකත්වය ඇති කරවන සෞඛ්‍යමය තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් කාන්තාවන්ට ද ඇතිවන අතර, ‘මෙනොපෝස්’ (ආර්තවහරණය) යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.
මේ හේතූන් නිසා ශ්‍රී ලංකාවේ පිරිමින් අතර ක්ෂණික මෝචන තත්ත්වය ද බහුල බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
“කාන්තාවකට යම් කාලයක් අවශ්‍ය යි යම් උත්තේජනයක් ලැබෙන්න, සුරතාන්තයකට පත්වෙන්න. ඒක ලැබෙන්නේ නැතිවෙනවා පිරිමියාට ක්ෂණික මෝචනය තියෙනවා නම්. එතකොට ඔහුට ලිංගික ක්‍රියාවලිය විචිත්‍රවත්ව කරන්නත් තේරුමක් නැත්නම්, කාන්තාවට කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැතිව යනවා. ඒ තත්ත්වය නිසා මානසික ගැටලු එනවා,” වෛද්‍ය රණසිංහ පැහැදිලි කළේ ය.
බෝ නොවන රෝග නිසා ලිංගික අප්‍රාණිකත්වයට
දියවැඩියාව හා අධික කොලෙස්ටරෝල් මට්ටම නිසාවෙන් ලිංගික ජීවිතයට බාධා ඇතිවන අන්දම අප වෙත පැහැදිලි කළේ පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුවයි.
දියවැඩියාව නිසා සිරුරේ ලේ ගමනාගමනයට බාධා එල්ලවී ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකිබව ඇය පවසයි.
“බොහොම සරලව කිව්වොත්, දියවැඩියාව කියන රෝගයෙන් වෙන්නේ කෙනෙක්ගේ ලේ නහර හීනි වෙන එක. එතකොට අපි තැන් පහක් ගැන ටිකක් අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ, ලේ ගමනය ඒ ස්ථානවලට අඩුවෙනවා. මොළය, ඇස් දෙක, හෘදය වස්තුව, වකුගඩු, සහ කකුල්… දැන් කකුල්වලටත් බයිපාස් [සැත්කම්] කරනවා, මොකද ලේ නහර හීනි වුණාම ලේ ගමන් කරන්නේ නෑ. එතකොට ලිංගික ප්‍රදේශවලටත් යන ලේ නහර හීනි වෙනවා. එතන දී ලේ ගමනය අඩු නිසා ඒ ප්‍රාණවත් ගතිය ටිකක් අඩුවෙනවා,” ඇය විස්තර කරයි.
හෘදයේ ආබාධයන් සහ ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම අතර සබඳතාවක් ඇතිබව ද වෛද්‍ය විලත්ගමුව කියයි. යමෙකුට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන්නේ නම්, ඔහුට ඉදිරි වසර කීපය තුළ හෘදයේ රෝගයක් ඇතිවීමේ අවදානමක් ද ඇතිබව ඇය අවධාරණය කළාය.
ලිංගික අප්‍රාණිකත්වය නිසා යුවලක් අතර සැකය වර්ධනය විය හැකි බැව් ඇය කියයි. පුරුෂයාට ලිංගික කාර්යයන්හි යෙදීමට නොහැකි බැවින් ඔහු සිය බිරිඳ පිළිබඳ සැක පහළකර ගන්නා අවස්ථාවන් ද, පුරුෂයා ලිංගික කාර්යයන්හි නියැලීමෙන් වැලකී සිටින බැවින් බිරිඳ ඔහු ගැන සැක සිතන අවස්ථාවන් ද ඇතැ යි ඇය පැවසුවාය.
ඇබ්බැහියත් ගැටලුවක් විය හැකියි
ලිංගික ජීවිතය ඒකාකාරී වෙද්දීත්, ලිංගික දේ කෙරෙහි ආශාව අඩු වෙද්දීත් ශ්‍රී ලංකාවේ පිරිමින් ‘සම්බාහන මධ්‍යස්ථාන’ වෙත යෑම, ලිංගික ශ්‍රමිකයින් ඇසුරු කිරීම, අනවශ්‍ය සබඳතා ඇරඹීම වැනි වෙනත් ලිංගික දෑ අත්හදා බැලීමේ නැඹුරුවක් දක්වන බව මනෝවෛද්‍ය රණසිංහ ප්‍රකාශකර සිටියේය.
“සමහරු නිල් චිත්‍රපටිවලට මානසිකව ඇබ්බැහි වෙනවා. ඔවුන් දැඩි උත්තේජනයක් නැතිව ආසාවල් ඇති නොවෙන තත්ත්වයට යනවා. ඒ එක්කම, එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඔවුන්ට අර සාමාන්‍ය ලිංගික දේවල්වලින් උත්තේජනය වෙන්නේ නැතුව, සමහරුන්ට ලිංගික අපගමන හැදෙනවා. පැරාෆීලියා (මනෝ ලිංගික අක්‍රමතා) හැදෙනවා. ඔවුන්ට සාමාන්‍ය කාන්තාවක් එක්ක සාමාන්‍ය විදියට එකතුවෙලා ලිංගික උත්තේජනයක් ලැබෙන්නේ නෑ… එතකොට අසාමාන්‍ය ෆෙටිෂ් දේවල් පාවිච්චි කරලා, සමහර මත්ද්‍රව්‍ය අරගෙන විතරයි ලිංගිකව උත්තේජනය වෙන්නේ,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව වෛද්‍ය නිර්දේශයක් රහිතව ලබාගත හැකි ලිංගික උත්තේජක ඖෂධ බහුල රටකි. මේවාට ඇබ්බැහි වන පුද්ගලයින් ද සිටිනා බව වෛද්‍යවරයා පවසයි. මෙය යමෙකුගේ මානසික සෞඛ්‍යය සහ විවාහයක බැඳීම සමග ගැටේ.
තරුණියන් ලිංගික දෑ ප්‍රතික්ෂේප කරමින් අනවශ්‍ය ලෙස ආගමට නැඹුරුවීම නිසා ද තරුණයන් නිල් චිත්‍රපට නැරඹීම වැනි හැසිරීම්වලට යොමුවිය හැකිබව ඔහු ප්‍රකාශ කළේ ය.
පාලනයක් නොමැති මත්පැන් පානය සහ මත්පැනට ඇබ්බැහි වීම ද ශ්‍රී ලංකාවේ විවාහයන් තුළ ගැටලු ඇති කරන හේතුවක්බව වෛද්‍ය කපිල රණසිංහ පෙන්වාදෙයි. මෙය අඩු අධ්‍යපනලාභීන් වෙසෙන ග්‍රාමීය පරිසරයන්හි විශාල ගැටලුවක් බවට පත්ව ඇතැ යි ද ඔහු සඳහන් කරයි.
ඔබේ පවුල තුළ ලිංගික ගැටලුවක් මතුව ඇත්නම් කළ යුත්තේ කුමක් ද?
යම් පුද්ගලයෙකුට හෝ ඔවුන්ගේ සහකරුට/සහකාරියට යම් මනෝ ලිංගික ගැටලුවක් තිබේ නම්, එය ඔවුන්ගේ සබඳතාව කෙරෙහි සෘණාත්මකව බලපෑම් ඇති කරයි. ඇතැමුන් මෙවැනි ගැටලු නිසාවෙන් පීඩා වින්ද ද, තමන්ට හෝ තම සහකරුට ගැටලුවක් ඇතැ යි යන්න හඳුනාගැනීමට අපොහොසත් වීම නිසා හෝ, ඒ ගැන නොදැනුවත් නිසා අසතුටුදායක දිවියක් ගතකරති.
තමාට හෝ තම සහකරුට/සහකාරියට මනෝ ලිංගික ගැටලුවක් ඇත් ද, එසේත් නැතිනම් සිය ලිංගික දිවියට බලපෑම් කළ හැකි වෙනත් මානසික ගැටලුවක් වේදැ යි හඳුනාගන්නා ආකාරය මනෝවෛද්‍ය කපිල රණසිංහ මෙසේ පැහැදිලි කරයි.
“තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය දැනහඳුනාගත් යුගයේ දීවත් ඔවුනට ගැටලුවක් තියනවා ද කියලා ගොඩක් කට්ටිය දන්නේ නෑ. විශේෂයෙන් තරහ පාලනය, ඊර්ෂ්‍යාව, ඉවසීම ආදියේ අඩුපාඩුකම් තියෙන තරුණ කාන්තාවන්, පිරිමින් ඉන්නවා. නමුත් ඒක ගැටලුවක් හැටියට දකින්නෙත් නෑ සමහරු. තවත් සමහරු තවමත් අර ගතානුගතික ලෙස හිතනවා ‘විවාහයෙන් පස්සේ හරියයි’, ‘දරුවෙක් හැදුවම හරියයි’, ඒ වගේම ‘රස්සාවේ ආතතිය නිසා තමයි මෙහෙම වෙන්නේ’ කියලා. අමුතු නිදහසට කාරණා හිතනවා.”
“මේවා සාමාන්‍ය දේවල් නෙවෙයි. තමන් ආදර සම්බන්ධයක ඉඳිද්දී අනිත් පුද්ගලයා තමන්ට පීඩා දෙනවා නම්, තමන්ව අසාමාන්‍ය විදියට පාලනය කරනවා නම්, තමන්ට ඊර්ෂ්‍යා කරනවා නම්, වධයක් වෙනවා නම් ඒක අසාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන කතා කරන්න අපි බිය විය යුතු නැහැ සමාජයක් හැටියට. ඒක තමන්ගේ අයිතිවාසිකමක්,” ඔහු කියයි.
එවැනි හැසිරීම් යම් මානසික රෝගයක ලක්ෂණයක් විය හැකි නිසා, තම සහකරු හෝ සහකාරිය මනෝ චිකිත්සකයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුතුයැ යි ද වෛද්‍යවරයා උපදෙස් දුන්නේය.
“ඊරිසියා කිරීම දුර්වලකමක් මිස ආදරයේ කොටසක් නෙවෙයි. අර සෙක්ෂුවල් ජෙලසි (ලිංගික ඊර්ෂ්‍යාව) කියන එක පොඩ්ඩක් එනවා. නමුත් ඒක අනිත් එක්කෙනාට හිරිහැරයක් වන මට්ටමට එන්න විදියක් නෑ. ඒක [ඊරිසියාව] ආදරේ වැඩිකමට වෙනවා කියන එක වැරැද්දක්. කෙනෙකුට පහර දෙනවා නම්, ඕනෑවට වැඩිය පාලනය කරනවා නම් ඒක ආදරයේ කොටසක් නෙවෙයි, පෞරුෂයේ ආබාධයක් හෝ මානසික රෝගයක රෝග ලක්ෂණයක්,” වෛද්‍යවරයා විස්තර කළේ ය.
“ලිංගික ප්‍රතිචාර ජීව විද්‍යාත්මක යි නේ. ඇඟේ සියලුම පද්ධතිවල ගැටලු ඇතිවෙන්න පුළුවන් නම්, මේ පද්ධතියේ විතරක් ගැටලු ඇති නොවී තියෙන්නේවත්, ඉබේ හරියන්නෙවත් නෑනේ. ඉබේ හරියන්නේ නැත්නම් ඒ සඳහා අපි චර්යාමය වශයෙන් වෙනස් වෙන්න ඕනේ. උපදේශනයක් ලැබීම, දැනුවත් වීම වැදගත් වෙනවා. ප්‍රතිකාර ලබාගන්න ඕනේ. ඒක ලැජ්ජා විය යුතු දෙයක්වත්, අවමානයක්වත් නෙවෙයි.”
යුවල අතර ලිංගික ගැටලුවලට ප්‍රතිකාර කිරීමේ දී,
1. පළමු පියවර නම් දෙදෙනා අතර ලිංගික ගැටලුවක් ඇතිබව පිළිගැනීම යි. ඒ සඳහා දෙදෙනා ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කළ යුතු ය. ලිංගිකත්වය තම දිවියේ වැදගත් කොටසක් නිසාවෙන්, එම ගැටලුවට විසඳුමක් සපයාගත යුතුබව අවබෝධකර ගත යුතු ය.
2. තමාට මනෝවෛද්‍ය උපදේශනය හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැකි ය යන අදහසට විවෘත විය යුතු ය.
3. අවිධිමත් ප්‍රතිකාර ක්‍රම හෝ මිත්‍යා විශ්වාස පිටුපස හඹා නොගොස්, නිසි විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදිය හැකි විශේෂඥයෙකු හමුවිය යුතු ය.
4. උපදේශනය තුළින් තම ගැටලුව විසඳාගත නොහැකි නම් ගැටලුව ඇතිවීමට හේතුව කායවිද්‍යාත්මක විය හැකි ය. ලිංගික ආශාව අඩුකම, පුරුෂ ලිංගික අකර්මණ්‍යතාව ආදී ගැටලුවලින් 40% – 60% අතරම ජීව විද්‍යාත්මක වන අතර, මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ඇත.
රජයේ රෝහල්හි මනෝ වෛද්‍ය සායනයන් හරහා ප්‍රතිකාර කෙරෙන්නේ බහුල මානසික රෝගවලට පමණක්ම නොවේ. යුවල අතර පවතින ලිංගික ගැටලුවලට ද මේවායේ දී ප්‍රතිකාර කෙරේ. මෙහිදී චර්යාමය ප්‍රතිකාර, මනෝ චිකිත්සාව, සහ අවැසි විටෙක ඖෂධ ප්‍රතිකාර යොදාගැනේ.
– BBC