වහබ්වාදය මේ වන විටත් පතුරමින් සිටින්නේ දැයි සැකයි – සූෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශක

වහබ්වාදය මේ වන විටත් පතුරමින් සිටින්නේ දැයි සැකයි - උත්තරීතර සූෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශක
සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මේ වන විටත් වහබ්වාදය පතුරමින් සිටින්නේදැයි සැක මතුවන බව සූෆි මුස්ලිම්වරුන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වහාබ්වාදය පැතිරවීම හේතුවෙන් තහනම් කළ යුතු බවට පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත කිතාබ් අට් තවුහිද් ග්‍රන්ථය සාධාරණීකරණය කිරීමට ද අබ්දුල් රාසික් කටයුතු කර ඇති බවයි.
උත්තරීතර සූෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශක ඉන්තිකාබ් සූෆර් හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
මුහම්මද් බින් අබ්දුල් වහබ් විසින් රචිත කිතාබ් අට් – තවුහිද් ග්‍රන්ථය වහාබ් වාදය පැතිරවීම සඳහා තවුහිද් කණ්ඩායම් විසින් භාවිත කර ඇති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එම වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ අදාළ ග්‍රන්ථය තහනම් කළ යුතු බවටයි.
වහබ් යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ද එම ග්‍රන්ථය රචනා කළ 18 වැනි සියවසේ අරාබි අර්ධද්වීපයේ ජීවත් වූ මුහම්මද් බින් අබ්දුල් වහබ් නමින්.
කෙසේ වෙතත් කිතාබ් අට් – තවුහිද් ග්‍රන්ථය තහනම් කිරීමට කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් අන්තවාදී අදහසක් දක්වමින් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් හලීම් රාසික් සඳහන් කර ඇත්තේ එම ග්‍රන්ථය තහනම් කිරීම සාධාරණ නොවන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උත්තරීතර සුෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට පවා මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයන් හේතුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බවයි.
– hiru